bandarawela-incident

බණ්ඩාරවෙල බදුල්ලවත්ත ප්‍රදේශයෙන් පෙරේදා (7 වැනිදා) අසන්නට ලැබුණේ හද කම්පා වීමකට වඩා එහාගිය විකෘති සමාජයක ආදීනව පෙන්වන ජුගුප්සා ජනක සිදුවීමකටය. ඒ නිවුමෝනියා රෝගයෙන් පෙළී මියගොස් භූමදානය කළ තරුණියකගේ මළ සිරුර ගොඩගෙන ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් පිළිබඳවය.

රශ්මිකා නදීෂානි බදුලුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රූමත් තරුණියක වූවාය. පෙර පාසල් ගුරුවරියක වූ ඇය පසුගියදා උණ රෝගය උත්සන්න වීමෙන් බණ්ඩාරවෙලල රෝහලට ඇතුළත් කළ අතර ඇයට නිවුමෝනියාව වැළදී ඇතැයි තහවුරු වීමත් සමග වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහල වෙත මාරු කෙරිණි. මෙලෙස දියතලාව රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 03 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තේ සැවොම කම්පාවට පත්කරමිනි.

ඇයගේ මළ සිරුර පවුලේ ඥාතීන් බාරගෙන බදුලුගස්තැන්න ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන ගිය අතර පසුදිනම (04 වැනිදා) ඇයගේ සිරුර භූමිදානය කරනු ලැබුවේ බදුලුගස්තැන්න සුසාන භූමියේය.



රශ්මිකාගේ නිවසට කිලෝමීටරයකට ටිකක් වැඩි දුරකින් මෙම සුසාන භූමිය පිහිටා ඇත්තේ කැළෑබද ප්‍රදේශයකය. රශ්මිකා වෙනුවෙන් පැවැත්වූ සත්දින පිංකම පසුගිය 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව ඇයගේ පියා පෙරේදා( 07 වැනිදා) උදෑසන දියණිය භූමදානය කළ සුසාන භූමියට ගියේ එම ස්ථානය පිරිසිදු කිරීමටය.

මෙහිදී පියාගේ නෙත් ගැටුණේ ඇස් අදහාගත නොහැකි දසුනකටය. දියණියගේ මළ සිරුර භූමිදාන කළ ස්ථානය වටා එකම පස් ගොඩක්ය. ඒ ආසන්නයේ දියණියගේ මළ සිරුර ද ගොඩගෙනය. මළ සිරුරට අන්දවා තිබූ ඇඳුම් ගලවා ඉවත් කර සිරුර නිරුවත් කරලාය.
මෙයින් දැඩි කම්පනයකට පත්වූ රශ්මිකාගේ පියා මේ සිද්ධිය පිළිබඳ බණ්ඩාරවෙල පොලිසිය දැනුවත් කළේය.



බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහණගේ උපදෙස් මත බණ්ඩාරවෙල වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.වී බන්ඩාර ඇතුළු නිලධාරීන් මෙම ස්තානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ ඒ අනුවය..

මෙයට අමතරව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ (සෝකෝ ) නිලධාරීහු ද පරීක්ෂණ සිදුකළහ.

මළ සිරුර භූමිදානය කළ ස්ථානයේ තිබූ සවලක් සහ වතුර ටැංකියක පියනක් පොලිසිය සොයාගත් අතර පොලිසියේ නිල සුනඛයකුට සවල ඉව කිරීමට සැලැස්වීමේදී සුනකයා ඉව ඔස්සේ හබාගොස් ඇත්තේ ද මියගිය තරුණියගේ නිවසටමය.

එමෙන්ම මෙම ස්ථානයේ තිබූ වතුර ටැංකි පියන යාබද නිවසක වතුර ටැංකියකින් ගලවාගත් එකක් බවට ද අනාවරණය විය.

මෙම තරුණියගේ මළ සිරුර වැළලූ ස්ථානය සවලෙන් හෑරීමට ලක්කර වතුර පියනයෙන් පස් ඉවත් කර තිබෙන බව ද පොලිසිය අනාවරණය කරගත්තේය.

පස් ඉවත් කිරීමෙන් පසු සවල ආධාරයෙන්ම මිනී පෙට්ටිය බිඳ ඇති බවත් පසුව සිරුර ගොඩට ගෙන එය නිරුවත් කර තිබෙන බවත් පසුව මළ සිරුර ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවත් බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහණ පැවසීය.

මෙම තරුණියට දැඩි ආශාවක් දැක්වූ පුද්ගලයකු මෙය සිදුකර තිබෙන බවට සැකකරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.



අවට කිහිප දෙනකුගෙන්ම පොලිසිය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඔවුන් පවසා ඇත්තේ මළ ගෙදර වැඩ කටයුතු වලට සහාය දුන් බවත් මත්පැන් පානය කර මළ ගෙදර සිටි බවත්ය. තමන් එවන් අපරාධයක් නොකළ බවත්ය.

මළ සිරුර බණ්ඩාරවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් එච්. එරත්නායක නිරීක්ෂණයට ලක්කළ අතර මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සිරුරු කොටස් හා අවටින් සොයාගත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යොමුකරන ලෙසය.

කෙසේ වෙතත් මේ සිද්ධියෙන් බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ගම්මානයම දැඩි කැළඹීමට ලක්ව ඇත. එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාමාතුර පුද්ගලයින් සිටින බැවින් එවන් පුද්ගලයකු මෙම අපරාධය සිදුකරන්නට ඇති බව ප්‍රදේෂවාසීන්ගේ සැකය වේ.
ඔවුන් පවසන්නේ මැරිලත් නිදහසේ ඉන්න නැති බවය.

(එස් අස්ලම්, විපුල සමරකෝන්)