beliatta-murder-update

බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනකු පෙරේදා (29) රත්ගම ප්‍රදේශයේ සිදුකෙරුණ වැටලීමක දී අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් එක් රූපලාවණ්‍ය ශිල්පිනියක35වන වියේ පසුවන අතර, ඇය කලක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින තැනැත්තියකි.

අත්අඩංගුවට ගත් අනෙක් රූපලාවණ්‍ය ශිල්පිනිය 23 වැනි වියේ පසුවන තරුණියකි. මෙම පංච පුද්ගල ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන අයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මෙම ඝාතන සිදුකිරීමෙන් පසු ඒ සඳහා යොදාගත් ටී.56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙක 35 වන වියේ පසු වන රූපලාවණ්‍ය ශිල්පිනියට බාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

මෙම රූපලාවණ්‍ය ශිල්පිනිය මෙම පංච පුද්ගල ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන පුද්ගලයා පදිංචිව සිටින ප්‍රදේශයේම පදිංචිව සිටින තැනැත්තියක යැයිද පොලිස් ආරංචි මාර්ග කියයි. ඇය එම ගිනි අවි දෙක යතුරුපැදියේ තබාගෙන අනෙක් තරුණ රූපලාවණ්‍ය ශිල්පිනිය සමඟ එක්වී ගාල්ල ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට රැගෙන ගොස් පුද්ගලයකුට භාරදී ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.තරුණ රූපලාවණ්‍ය ශිල්පිනිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.ගිනිඅවි දෙක බාරගත් පුද්ගලයා ගැන තොරතුරු හෙළි කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය සහ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු පිරිසක් ඒකාබද්ධව පරීක්ෂණ පවත්වාගෙන යති.



ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැලකෙන යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයකුගෙන් හෙළිවූ තොරතුරු මත විමර්ශන පවත්වා මෙම රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනාට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ හක්මන පොලිසියේ නිලධාරීන් කටයුතු යොදාගෙන යයි. මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. යතුරුපැදියක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
යසන්ත ආරියසේන