benzema-minister
ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සුපිරි ප්‍රහාරක ක්‍රීඩක කරීම් බෙන්සෙමා, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මානින්ට එරෙහිව නඩු මගට පිවිසීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ එම අමාත්‍යවරයා විසින් බෙන්සෙමා ඊජිප්තු ඉස්ලාමීය සංවිධානයක් වන Muslim brotherhood සමග සබඳතා පවත්වන බවට චෝදනා එල්ල කිරීම හේතුවෙනි. මෙමගින් තමන් ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දෙන බව අමාත්‍යවරයා චෝදනා කර ඇති බවත්,

සිය කීර්තිනාමයට එමගින් කැළලක් ඇති බව බවත් පවසමින් බෙන්සෙමා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.


ගාසා තීරයේ වෙසෙන ජනයා වෙත කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාරයන්ට විරොධය පළ කරමින් බෙන්සෙමා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිය නිල සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පළ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මානින් විසින් බෙන්සෙමා අලලා මෙම ප්‍රකාශ සිදු කර තිබුණේ Muslim brotherhood සංවිධානය සමගින් බෙන්සෙමාගේ නීතිවිරෝධී සම්බන්ධයක් ඇති බවයි.


කෙසේ වෙතත් බෙන්සෙමා පවසන්නේ අදාළ සංවිධානය සමගින් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

36 හැවිරිදි වියේ පසුවන බෙන්සෙමා 2007 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ප්‍රංශ පාපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී තරග 97කදී ඔහු රැස්කර ඇති ගෝල සංඛ්‍යාව 37කි. එය ප්‍රංශය වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස්කළ හයවැනි වැඩිම ගෝල සංඛ්‍යාවයි.

අන්තර්ජාතික පිටියට වඩා ක්‍රීඩා සමාජ පිටියේ වැඩි දස්කම් පෙන්වා ඇති බෙන්සෙමා ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් තරග 648කදී ගෝල 354ක් රැස් කරගෙන ඇත. එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුපිරි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හැරුණු විට වැඩිම ගෝල රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේද බෙන්සෙමාය.