Complaints-about-98000-viewed-and-made-child-pornography

මෙරට පුද්ගලයන් විසින් අන්තර්ජාලය ඔස්සේ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප,වීඩියෝ නැරඹීම, දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සකස් කිරීම, වීඩියෝ පට නිර්මාණය, ඒවා බෙදා හැරීම ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර දත්ත පද්ධතියකින් ඉකුත් වසරේදී (2023) පැමිණිලි 98,000ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවාය.





කිසියම් පුද්ගලයෙකු ලෝකයේ කුමන ස්ථානයක සිටිමින් හෝ අන්තර්ජාලය හරහා දරුවෙකුගේ අසභ්‍ය ඡායාරූපයක්, වීඩියෝ පටයක් නිර්මාණය කිරීම (වෙනත් පුද්ගලයෙකු විසින් දරුවෙක් අපයෝජනය කරන අයුරු පටිගත කිරීම), දැනටත් අන්තර්ජාලයේ තිබෙන දරුවන් යොදාගෙන කරන ලද ඡායාරූප, වීඩියෝ පට නරඹන්නේ නම්, එය තවත් කෙනෙකුට බෙදාහරින්නේ නම් වරදක් බවද ,ඊට දඬුවමක්ද තිබෙන බවද ඇය පැවසුවාය.

දරුවන් සම්බන්ධ මෙවැනි කටයුතු ලෝකයේ අනෙකුත් රටවල් විසින් නිරීක්ෂණය කරන බවත්, අනතුරුව එක්තරා දත්ත පද්ධතියකට එම දත්ත ගොනු කිරීම සිදුකරන බවත් ඇය සඳහන් කළාය.

උදාහරණයක් ලෙස ගූගල් ආයතනයට සම්බන්ධ වී සිටින යම් සේවාලාභියෙකු දරුවන් සම්බන්ධයෙන් මෙවැනි වැරදි කටයුත්තක් සිදු කරන්නේ නම්, අදාළ පුද්ගලයාගේ සියලු තොරතුරු ගූගල් ආයතනය විසින් එම දත්ත පද්ධතියට ලබාදෙන බවද ඇය පැවසුවාය.



එම ජාත්‍යන්තර දත්ත පද්ධතිය මගින් මෙම සියලු තොරතුරු එම පුද්ගලයන්ට අදාළ රටවල්වලට සපයන බවත්, වින්දිතයා බේරා ගැනීම සඳහා අදාළ සිද්ධීන් ඔවුන් ප්‍රමුඛතා ගතකර මෙලෙස රටවල්වලට නිකුත් කරන බවත් ඇය කියා සිටියාය. මෙම පහසුකම මෙරට ලැබී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයට බවද ඇය පැවසුවාය.

මෙහිදී ලංකාවට අදාළව පැමිණිලි 98,000ක් ලැබුණද, ඇතැම් පුද්ගලයන් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවද ඇය සඳහන් කළාය.

සාලිය කුමාර ගුණසේකර