The-court-has-doubts-about-the-police-avoiding-the-CCTV-of-the-Colombo-7-music-teacher's-killer

කුරුදුවත්තේ සංගීත ගුරුවරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කාරයාංශය විමර්ශන කරන ආකාරය පිළිබඳ විමතිය පළකළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි විවෘත අධිකරණයේදී ඊයේ (16) ප්‍රශ්න කළේය.

මෙම ඝාතන සිද්ධිය විමර්ශනය කිරීමේ හැකියාව හෝ නොහැකියාව ලබන 26 වැනිදා පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා එහි ස්ථානාධිපතිවරයාට නියම කළේය.

ඝාතකයා මරණකාරියගේ නිවසට ඇතුළු වන දර්ශන අසල නිවෙස් දෙකේ සීසීටීවී කැමරාවල සටහන් වී ඇතත් ඔවුන් එම දර්ශන අඩංගු ඩී.වී.ආර්. යන්ත්‍ර දීමට මැලිකමක් දක්වන බවට එම කාර්යාංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයා දැනුම්දුන් අවස්ථාවේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කාර්යාංශය මෙම ඝාතන සිද්ධිය යටගැසීමට ප්‍රයත්න දරන බව පෙනී යන්නේ යැයි කියමින් මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.



 සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයකු සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් ඝාතකයා මරණකාරියගේ නිවසට ඇතුළු වන ආකාරය අසල නිවෙස් දෙකක ඇති සීසීටීවී දර්ශනවල සටහන් වී ඇතැයි දැනුම් දුන්නේය.

එම දර්ශන අඩංගු දත්ත ගබඩා වී ඇති ඩී.වී.ආර්. යන්ත්‍ර දීමට එම නිවෙස් හිමියන් මැලිකමක් දක්වන්නේ යැයි දැනුම් දුන් උපපොලිස් පරීක්‍ෂකවරයා ඩී.වී.ආර්. යන්ත්‍ර වල දර්ශන දින 14කින් මැකී යන බවට නිවැසියන් ප්‍රකාශ කළේ යැයිද වැඩිදුරටත් පැවසීය.

ඒ අවස්ථාවේදී මරණකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම අපරාධ සිද්ධිය යට ගැසීමට පොලිසිය ප්‍රයත්න දරන බව පෙනී යන හෙයින් මෙහි විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.



කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඩී.වී. ආර්. යන්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට බෑ කියන්නේ ඒක පොලිසියක්ද? යනුවෙන් උපපොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කළේය.

අදාළ ඩී.වී.ආර්. යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ගේ නොහැකියාව පිළිබඳ නඩු පොතේ සටහනක් යෙදු මහේස්ත්‍රාත්වරයා “අපරාධ විමර්ශන ක්‍රියාවලිය" ගැන කිසිදු අවබෝධයකින් තොරව නිලධාරීන් කරුණු දක්වන බවද සටහන් කළේය.

විමර්ශන ක්‍රියාවලිය මන්දගාමීව හා නොදැනුවත් ආකාරයෙන් සිදුවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු වෙනත් අංශයකට පැවරීමට පෙර මෙම අංශයට විමර්ශන කිරීමේ නොහැකියාව සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාගෙන් විමසිය යුතු බව සඳහන් කළ අතර ලබන 26 දින පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.

රෝෂන් තුෂාර