2023 මැයි 31වෙනිදා රජය විසින් ආදායම් බදු සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව ඊට අදාළව 2023 දෙසැම්බර් 31වෙනිදාට වයස 18වන අයට සහ 2024 ජනවාරි 01 හෝ එදිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම පුරවැසියන් TIN හෙවත් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (Tax Identification Number) ලබාගැනීම අනිවාර්යය කර තිබේ. මේ සම්බන්ධව බොහෝදෙනා මේ වන විටත් දනුම්වත්භාවයක් නොමැති නිසාම ඒ පිළිබඳව තොරතුරු විමසීම සදහා ජ්‍යෙෂ්ඨ විගණක සහ ගණකාධිකාරී තිළිණි රණසිංහ මහත්මියව සම්බන්ධ කර ගත්තෙමු. එතුමිය කළ පැහැදිලි කිරීම මෙසේයි.





බදු හදුනාගැනීමේ අංකයක් (TIN) ලබාගත් පමණින් බදු ගෙවීමට අවශ්‍යද?

මුලින්ම කියන්න ඕනෙ බදු හඳුනාගැනීමේ අංකය(TIN) ලබාගත් පමණින්, ආදායම් බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට බදු අය වන ආදායමක් (Taxable Income) තියෙන්න ඕන. මෙහිදී වර්ෂයක් තුළ 1,200,000ක ආදායම එනම්, මාසික ආදායම 100,000 ඉක්මවා යන කෙනෙක්ට පමණක් ආදායම් බදු ගෙවන්න සිද්ධ වෙනවා.

මුලින්ම සිද්ධ වෙන්නේ බදු හදුනාගැනීමේ අංකයක් ලබාදෙනවා පමණයි. මේ අංකය ලබාගන්න අපිට පහසුවෙන් මාර්ගගතව(Online) www. ird.gov.lk වෙබ්අඩවිය තුළින් ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වීම වගේම Payments, Returns submit කරන්න වගේ දේවල් දැන් වෙබ්අඩවිය හරහා මාර්ගගතව කරගත්ත පුළුවන්. එහෙම නැතිනම් ළඟම තියෙන දේශීය ආදායම් බදු කාර්යාලයට ගිහින් මේ වැඩ ටික කරගන්නත් පුළුවන්.


ආදයම් බදු ගෙවිය යුත්තේ කවුද?

වයස 18ට වැඩි, ලංකාවේ නේවාසිකයෙක් විදියට සලකන හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවිය යුතුයි. නේවාසිකයෙක් කියන්නේ වර්ෂය තුළ ඕනෑම මාස 12ක කාලසීමාව තුළ ලංකාවේ දවස් 183ට වඩා වැඩිපුර ඉන්නවා නම් ඒ පුද්ගලයා ලංකාවේ නේවාසිකයෙක් විදියට තමයි සලකන්නේ. ඒ වගේම නේවාසිකයන් සියලුමදෙනාට ඔවුන් උපයන දේශීය සහ විදේශීය ආදායම් දෙවර්ගය සදහාම බදු ගෙවීමට සිදුවෙනවා. නමුත් විදේශ රටවල්වලට සපයන මෙන්ම ක්‍රියාත්මක වන සේවාවන් වෙනුවෙන් උපයන විදේශ මුදල් ලංකාවේ බැංකු හරහා ලංකාවට පැමිණේ නම්, එම ආදායම බද්දෙන් නිදහස් කර තිබෙනවා. එසේ නොමැති අනෙකුත් ආදායම් සඳහා බදු ගෙවීමට සිදුවෙනවා.

ලංකාව තුළ දින 183ට වඩා අඩුවෙන් ගත කරනවා නම්, ඒ පුද්ගලයා අනේවාසිකයෙක් විදියට තමයි සලකන්නේ. අනේවාසිකයන් බදු ගෙවීමට බැදී ඇත්තේ ඔවුන් ලංකාවෙන් උපයන යම් ආදායමක් පවතී නම්,

එම ආදායම් සඳහා පමණයි. ඔවුන් ලංකාවෙන් පිටත උපයන ආදායම් වෙනුවෙන් බදු ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ.


අපි උපයන මුළු ආදායමටම බදු ගෙවන්න අවශ්‍යද?

ඔබ අවුරුද්දකට 1,200,000කට වඩා ආදායමක් උපයනවා නම් මේ මුළු ආදායමටම බදු ගෙවිය යුතු නැහැ. මේකෙන් යම් අඩු කිරීමක් කරන්න ඉඩ දීලා තියෙනවා. මේවා බදුකරණයේදී හඳුන්වන්නේ සුදුසුකම් ලැබීමේ ගෙවීම විදියටයි. 2023/2024 වර්ෂයට සුදුසුකම් ලැබීමේ ගෙවීම් ලෙස ලබා දී ඇත්තේ, අනුමත පුණ්‍යායතන සදහා කරනු ලැබූ මුදල් පරිත්‍යාග සදහායි.


 ආදායම් බද්දෙන් අඩු කර ගැනීම සදහා සහන වර්ග කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මොනවාද?

01. පෞද්ගලික සහන

පෞද්ගලික සහන ලෙස වර්ෂයක් තුළදී රුපියල් 1,200,000ක් අඩුකර ගැනීමට හැකියාව ඇත.

02. කුලී සහන

පුද්ගලයා කුලී ආදායමක් ලබනවා නම්, වර්ෂයක් තුළදී මුළු කුලී ආදායමෙන් 25%ක් අඩු කිරීමට ඉඩ ලබාදෙනු ලැබේ.

03. වෙනත් සහන

තම පරිශ්‍රයේ සූර්ය පැනල සවිකර ඇත්නම් ඒ වෙනුවෙන් දැරූ පිරිවැය තෙක් රුපියල් 600,000ක් අඩු කරගත හැකිය.

මීට අමතරව බදු අඩු කර ගැනීමට බදු උපදේශකවරයෙක් සම්බන්ධ කරගෙන ඒ ගැන උපදෙස් ලබාගන්න පුළුවන්.

ඔබ උපයන ආදායමෙන් ඉහත සඳහන් දේවල් අඩු කිරීම් කළාට පස්සෙ ඉතිරි වෙන ආදායමක් පවතී නම්, මේ ආකාරයට බදු ගෙවීමට සිදුවෙනවා.

•‍ පළවෙනි 500,000 - 6%

•‍ ‍ දෙවෙනි 500,000 - 12%

• තුන්වෙනි 500,000 - 18 %

•‍ හතරවෙනි 500,000 - 24%

•‍ පස්වෙනි 500,000 - 30%

ඉහත දැක්වූ ප්‍රමාණය ඉක්මවන ආදායමට 36%ක් වශයෙන් ආදායම් බදු ගෙවීම් කරන්න සිද්ධ වෙනවා.


එකතු කළ අගය මත බදු ( VAT)

2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු පනත අනුව 2024 ජනවාරි 01වැනිදා සිට VAT බද්ද 18% දක්වා වැඩි කර තියෙනවා. ඉතින් මේක ගැන පොඩ්ඩක් දැනුම්වත් වෙලා ඉදිමු.

මුලින්ම මේ VAT එක තිබුණේ 8%ට. ඒක 12% , 15%ටත් වැඩි වෙලා දැන් 18% වෙලා තියෙන්නේ.


මොකක්ද මේ VAT කියන්නේ?

VAT බද්ද භාණ්ඩ හෝ සේවා පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා ගෙවන්න ඕන බද්දක්. ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ හා ශ්‍රීලංකාවේ දේශ සීමාව තුළ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දේ විෂයපථයට අයත් වෙනවා. ඒ වගේම භාණ්ඩ හෝ සේවා වලින් VAT ලෙස අය කරගන්නා බද්දට සමාන වටිනාකමක් ආයතන විසින් රජයට ගෙවන්ත ඕනේ.

ගොඩක් භාණ්ඩවලට මේ පාර VAT ගෙවන්න සිද්ධ වෙනවා. ඒ අතරින් VATවලින් නිදහස් භාණ්ඩ කිහිපයකුත් තියෙනවා.

•ළමා කිරිපිටි

• පාන් පිටි

• සහල් පිටි

• සහල්

• ඖෂධ

මෙවැනි භාණ්ඩ 43ක් සදහා විතරයි මේ පාර VAT අය වෙන්නෙ නැත්තේ.

එවිට සමහරු කියනවනේ කලින් තිබුණේ 15% නිසා 3%යි VAT වැඩි වෙන්නේ කියල. නෑ එහෙම වෙන්නේ කලින් VAT වුණ භාණ්ඩ ටික ඒ විදියටම මේ අවුරුද්දෙත් VAT වෙන නිසා, ඒ ටික විතරක් 3%කින් වැඩි වෙලා, අලුතින්VAT වුණු භාණ්ඩ ටික 0% සිට 18% තෙක්ම වැඩි වුණා. ඒ හින්දා ඒකාරණා දෙක පටලගන්න එපා.

විශේෂම කාරණය VAT registered නැති කිසිම ආයතනයකට ඔවුන්ගේ විකුණුම් මිලට VAT එක එකතු කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ව්‍යාපාරයක් කාර්තුවක් තුළදී රුපියල් මිලියන 15ක ආදායමක් ඉක්මවන්නේ නම්, එම ව්‍යාපාර ඒකකය VAT සදහා ලියාපදිංචි විය යුතුයි.


ආදායම් බදු ගෙවීම සදහා ලියාපදිංචි නොවන්නන් හට සිදුවන්නේ කුමක්ද?

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ගැසට්පත්‍රයට අනුව ලියාපදිංචි නොවන තැනැත්ත න්දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරනු ලබන අතර, රුපියල් 50,000 නොඉක්මවන දණ්ඩනයකටද යටත් විය යුතුයි.
පියුමිකා වීරසූරිය