bmich-vehicle-seller-fraud

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ වාහන අලෙවි කර දෙන කාර්යාලයක් පවත්වාගෙන යමින් රුපියල් හාර කෝටි පනස්පන් ලක්ෂයක මුදලක් රැගෙන පලා ගිය සැකකරු සිංහල නමකින් පෙනී සිටි මුස්ලිම් පුද්ගලයකු බවට අනාවරණය වී ඇතැයි කුරුඳුවත්ත පොලීසිය කියයි.



ඔහු රත්නායක මුදියන්සේලාගේ අසංක රත්නායක ගලගෙදර, පුස්සැල්ලාව, බදුල්ල යනුවෙන් ව්‍යාජ නමකින් සහ ලිපිනයකින් පෙනී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි. සුඛෝපභෝගී ජීප් රථයක් සහ සුඛෝභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනකුගේ මුදල් එලෙස වංචා කර රැගෙන ගොස් ඇත.



ඉකුත් මස (20දා) පානදුර සහ මාතර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන්ගේ ජීප් රථය සහ මෝටර් රථය කාර්යාලයේ දැනුම් දීම මත ගැනුම්කරුවකුට විකිණීම සදහා එම වාහන ද සමග පැමිණ තිබේ.

ගැනුම්කරුවත් වාහන දෙක මිලදී ගැනීම සදහා කැමැත්ත පළකර, ජීප් රථය මිලදී ගැනීම සදහා රුපියල් තුන්කෝටි 30 ලක්ෂයක මුදලකුත්,මෝටර් රථය මිලදී ගැනීම සඳහා එක්කෝටි 25 ලක්ෂයක මුදලකුත් කාර්යාලය පවත්වාගෙන ගිය සැකකරු වෙත ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.

ලිපි ලේඛන සකස් කරන තෙක් රැඳී සිටින ලෙස විකුණුම්කරුවන්ට සහ ගැනුම්කරුවන්ට පවසා තිබූ සැකකාර පුද්ගලයා එකී කාලය තුළදී කාර්යාලයේ පිටුපස දොරින් මුදල් රැගෙන පලා ගොස් ඇත.



සැකකරු කුලී පදනම මත වාහනයක් ගෙන්වාගෙන එහි නැගී තුන්මුල්ල හන්දිය තෙක් ගොස් එතැන් සිට තීරෝද රථයකින් ගමන් කර ඇති බව සීසීටීවී දර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත.

සැකකරු එම කාර්යාලය ලබාගෙන ඇත්තේ නිසි ක්‍රියා පටිපාටියකින් තොරව බවටද අනාවරණය වීමෙන් අනතුරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වග කිව යුතු නිලධාරියකු සේවයෙන් පහකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ සේවකයන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර, එම කාර්යාලයේ සේවක සේවිකාවන්ගෙන් මෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පාලනාධිකාරියේ කීප දෙනෙකුගෙත් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

  බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ