boc-manager-remand
ලංකා බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 66 1/2කට අධික මුදලක් වංචා සහගතව සිය ඥාතීන්ගේ ගිණුම්වලට බැර කරගත් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා බැංකුවේ නිලධාරියෙකු ලබන මස 06වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23දා) නියම කළේය.

මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කරන බව දැනුම් දෙමින් වංචා විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කළේය.





සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් ලංකා බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී ලංකා බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ තිබූ මුදල් වෙනත් සැකකටයුතු ගිණුම් හතරකට බැර වී ඇති බව හෙළි වූ බවද, එම ගිණුම් හිමියන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔවුන් සැකකරුගේ ඥාතීන් බවට හෙළි වූ බවද දැනුම් දුන් නිලධාරීන් සැකකරුට ලංකා බැංකුවේ පොදු ලෙජර් ගිණුමට ඇතුළු වීමට ඇති හැකියාව පාවිච්චි කරමින් පොදු ලෙජර් ගිණුමේ තිබූ මුදල් වංචනික අන්දමින් ඔහුගේ ඥාතීන්ගේ ගිණුම්වලට බැර කරගෙන ඇතැයිද දැනුම් දුන්නේය.



ලංකා බැංකුව සතු මුදල් මේ ආකාරයෙන් වංචා කර ඇද්දැයි හෙළි කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශනය කරන බව දැනුම් දුන් වංචා විමර්ශන අංශයේ නිලධාරීහු සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.

  බුද්ධිමාල් රුබේරු