borella-incident

තමන්ගේම මල්ලීට කතුරකින් ඇණ මරා දැමුවේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (22) නියම කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.



මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බොරැල්ලේ පදිංචි අයි.එච්. ප්‍රියන්ත නමැත්තාය.

මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල සර්පන්ටයින් පාර පදිංචිව සිටි වෙළඳ සහයකයකුවන අයි.එච්. ජයන්ත (55) නමැත්තෙකි.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ බොරැල්ල පොලිසිය මරණකරු මත්පැන් පානය කර වැඩිමහල් සහෝදරයා සමග ඇතිකරගත් බහින් බස් වීමත් දුරදිග යෑමෙන් සැකකාර වැඩිමල් සහෝදරයා කතුරකින් මරණකරුගේ පපුවේ වම්පසට ඇණ ඇතැයි දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දුන් නිලධාරීහු සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

රෝෂන් තුෂාර