අල්ලස් ගැනීම සම්බන්ධයෙන් රාජ්ය සේවකයන්ට එරෙහිව පවරන නඩුවල සාක්කි මෙහෙයවීම ඉතාම දුර්වල මට්ටමක ඇතැයි කී කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා කොමිසමේ කටයුතු 12 වනදා දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
අල්ලස් කොමිසම පවරන නඩු බොහොමයක මෙම දුර්වලතාව දක්නට ඇති හෙයින් නඩු බොහොමයක විත්තිකරුවන් නිදහස් කිරීමට සිදු වන්නේ යැයි ද අල්ලස් චෝදනා එල්ල වී සිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයකු සහ මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන්වරයකුව නිදොස් කොට නිදහස් කරමින් මහේස්ත්රාත්වරයා පැවසීය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කර නැතැයි තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයකු වශයෙන් කටයුතු කළ රංග සසිකාන්ත සහ මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන්වරයකු වන එම්.ඩී. සරත් විජයතුංග නමැත්තන්ය.
ඉකුත් 2014 මැයි 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යතුරු පැදියක ආදායම් බල පත්රය ලබාදීම සඳහා පොලිස් නිලධාරියකුගෙන් රුපියල් 1500ක අල්ලසක් ලබා ගත් බවට අල්ලස් කොමිසම මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයකු වශයෙන් කටයුතු කළ රංග සසිකාන්ත නමැත්තාට එරෙහිවද 2012 මාර්තු 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යතුරු පැදියක් නිදහස් කිරීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 1500 ක අල්ලසක් ලබා ගත් බවට මැදවච්චිය පොලිසියේ වරෙන්තු ක්රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන්වරයකු වන එම්.ඩී. සරත් විජයතුංග නමැත්තාට එරෙහිවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙන වෙනම නඩු පවරා තිබිණි.
රංග සසිකාන්ත නමැත්තාට එරෙහි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කළ මහේස්ත්රාත්වරයා අදාළ විත්තිකරු අල්ලස් වශයෙන් ගත් රුපියල් 15000ක මුදලේ තිබූ රුපියල් 1000නෝට්ටුවේ අංකය නිවැරැදිව සටහන් කර ගැනීමට අල්ලස් නිලධාරීන්ට නොහැකිවී ඇතැයි පෙන්වා දුන්නේය.
සාක්ෂි මෙහෙය වීමේ දී එලෙස ඌනතා පෙන්වීම නඩුවේ හරයට මහත් අගතියක් වන බව පෙන්වා දෙමින් මහේස්ත්රාත්වරයා ඔහු නිදොස් කර නිදහස් කළේය.
මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්. ඩී. සරත් විජයතුංග නමැත්තාට එරෙහි නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කළ මහේස්ත්රාත්වරයා පැමිණිලිකරුගේ ප්රකාශය අනුව විත්තිකරු රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කීවත් වැටලීම කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනාගේ සාක්කි අනුව විත්තිකරු රුපියල් 1500ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව හෙළි වී ඇති අතරම ඔවුන්ගේ සාක්කිවලදී අදාළ මුදල් සොයා ගත්තේ විත්තිකරුගේ සාක්කුවේ තිබිය දී, සටහන් පොතේ පිටු අතර තිබිය දී හා ෆයිල් කවරයක් ඇතුළේ තිබියදී බවට පරස්පර තොරතුරු හෙළි කර ඇතැයි පෙන්වා දුන්නේය.
මෙවැනි පරස්පර සාක්කි මත විත්තිකරුවකු වරදකරුවකු කිරීමට නොහැකි බවට තීන්දු කළ මහේස්ත්රාත්වරයා ඔහු සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීමට තීරණය කළේය. විත්තිකරුවන් නිදහස් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරියා උසාවිය ඉදිරියට කැඳවූ මහේස්ත්රාත්වරයා අල්ලස් කොමිසම නඩු කටයුතු වලදී සාක්ෂි මෙහෙයවන ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ පවරන නඩුවල අති බහුතරයක මෙම දුර්වලතාව දක්නට ඇතැයි ද මෙම තත්වයන් හේතුවෙන් විත්තිකරුවන් නිදහස් වන්නේ යැයි ද පෙන්වා දුන් ප්රධාන මහේස්ත්රාත්වරයා මේ බව කොමිසමේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන ලෙසට ද විවෘත අධිකරණයේ දී උපදෙස් දුන්නේය.
රොෂාන් තුෂාර
0 Comments