chamari-atapattu-politics

පසුගියදා මියගිය සිය සැමියාගේ හිඩැස පිරවීම සඳහා ජනතාව ඉල්ලීමක් කළහොත් දේශපාලන ගමනක් ආරම්භ කිරීම පිළිබඳව සලකා බලන බව දිවංගත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පවසා තිබේ.

නීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගිය ජනවාරි 25 වැනිදා සිදුවූ මාරක අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක නිලධාරියාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් බැලීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



ජනවාරි 25 වැනිදා අලුයම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ කොස්තාපල් අනුරාධ ජයකොඩි ඛේදජනක ලෙස මිය ගියහ. ඔවුන් දෙදෙනා එම අවස්ථාවේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඉන් ටික වේලාවකට පසු දෙදෙනාම මියගොස් ඇති බව වාර්තා කෙරිණි. කෙසේ වෙතත් රථයේ රියදුරු අනතුරින් දිවි ගලවාගත්තේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චමරි ප්‍රියංකා, “මගේ සැමියා පුත්තලම දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. ඔහුගෙන් පිහිට පැතූ කිසිවෙක් හිස් අතින් යවා නැහැ. ඔහු දැන් මෙහි නැතැයි කියා මටවත් මගේ දරුවන්ටවත් හිත හදාගන්න අමාරුයි. ඒක හීනයක් වගේ දැනෙනවා."
ඇය කියා සිටියේ තමන් දේශපාලනයට පැමිණීම පිළිබඳව තවමත් නිල ප්‍රකාශයක් කර නොමැති බවයි.

තම අභාවප්‍රාප්ත සැමියාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළත් ඔහුගේ දේශපාලන කටයුතු කළමණාකරණය කළත් එදා දේශපාලනයට අවතීර්ණ වීමේ අදහසක් තමාට නොතිබූ බවද ඇය පැවසුවාය. "මට තාම එහෙම අදහසක් නෑ."



“කෙසේ වෙතත්, පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත්, රටේ ජනතාවත්, පක්ෂ නායකත්වයත් මගෙන් ඉල්ලීමක් කරනවා නම් මගේ ස්වාමිපුරුෂයා නැති රික්තය පුරවා ඔහු වෙනුවට එම ධුරය භාර ගන්න සලකා බලනවා. මගේ දරුවෝ හතර දෙනාගේ අනාගතය ගැන මට දැන් ලොකු වගකීමක් තියෙනවා.”

විවේචනවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ වැන්දඹු බිරිඳ කියා සිටියේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු බවත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප වූ පුද්ගලයකු බවත්ය.