chamari-atapattu
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු 2023 වර්ෂයේ කාන්තා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර ඇත.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)පසුගිය වසරට (2023) අදාළව, එම වසරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතරින් මෙම තෝරාගැනීම කර ඇත. මෙයට අන්තර්ගත වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේද චමරි පමණි.



චමරි එම වසරේ විස්සයි 20 ඉනිම් 16කදී ලකුණු 470ක් වාර්තා කිරීමටද සමත් වූවාය. මේ අනුව විස්සයි 20 පිටියේ වැඩිම ලකුණු ලාභිනියන් දස දෙනා අතර රැඳී සිටිමටද ඇය සමත්වී ඇත.

විස්සයි 20 පිටියට අමතරව එක්දින පිටියේදීද දස්කම් දැක්වූ චමරි, පසුගිය වසරේ කාන්තා එක්දින ඉනිම් 08කදී ලකුණු 415 ක් රැස් කිරීමට සමත්වී ඇත. එහිදී පන්දු 80කදී ලකුණු 140 ක් නොදැවී රැස් කර ගනිමින් ඇය වාර්තා කළ ඉනිම, එම වසරේ කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා විය.ඇයගේ නායකත්වය යටතේ ඉතිහාසයේ පළමු වරට එංගලන්තයට එරෙහිව එරටදී විස්සයි20 තරගාවලියක් ජයගැනීමට මෙන්ම නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක්  ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.කෙසේ නමුත් සූරියකුමාරි යාදව්ගේ නායකත්වයෙන් යුත් වසරේ වි20 කණ්ඩායමට  ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් වී නොමැත.



වසරේ කාන්තා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තු (නායිකා/ ශ්‍රී ලංකාව) බෙත් මූනි (ඔස්ට්‍රේලියාව), ලූරා වොල්වා (දකුණු අප්‍රිකාව), හේලි මැතිව්ස් (බ.ඉ.කොදෙව්), නැට් ඡීවර් (එංගලන්තය) අමේලියා කෙර් (නවසීලන්තය), එලිස් පෙරි (ඔස්ට්‍රේලියාව), ඇෂ් ගාඩ්නර් (ඔස්ට්‍රේලියාව), දීප්ති ෂරිමා (ඉන්දියාව) සොපී එක්ලෙස්ටෝන් (එංගලන්තය), මේගන් ෂුට් (ඔස්ට්‍රේලියාව).


ඕෂිත වරකපිටිය .