colombo-7-woman-mithrani-murder

ලෝකයේ බොහෝ අපරාධකරුවන්ගේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඔවුන් දෙවන වරටත් තමන් අපරාධය සිදු කළ ස්ථානයට පැමිණ සාක්ෂි විනාශ කිරීමට යම් යම් උත්සහායන් ගැනීමය. මෙම සැකකරුද ඝාතනයක් සිදුකර පලා ගොස් යළි පැමිණ සාක්ෂි මැකීමට ගත් උත්සහාය ව්‍යාර්ථව ගොස් ඇත්තේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද සූක්ෂම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. කොළඹ 07 විජේරාම මාවතේ හෝර්ටන් පෙදෙස මංසන්දියට නුදුරින් පදිංචිව සිටි 75 හැවිරිදි වැන්දඹු කාන්තාවක් වූ මිත්‍රානි ප්‍රනාන්දුගේ ස්මිත් ඝාතනයේ සුලමුල හෙළි වූයේද එසේය.

75 හැවිරිදි මිත්‍රානි ප්‍රනාන්දුගේ සැමියා මීට වසර පහකට පෙර මියයාමෙන් පසු ඇය කොළඹ 07 නිවසේ ජීවත් වූයේ තනිවමය. ඇයගේ තනි නොතනියට සිටියේ ඇය පණ මෙන් ආදරය කළ පියාණෝව මෙන්ම පියාණෝ පන්තියට එන දරු දැරියන් පිරිසය. නමුත් පසුගිය දෙසැම්බර් 15 වැනිදා වැනිදා මිත්‍රානි අබිරහස් ලෙස මියගිය පුවත මුලින්ම පොලිසියට දැනුම් දුන්නේ ඇයගේ බාල සහෝදරයාගේ කොළඹ පදිංචි පුත්‍රයකු විසිනි. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කරන ලද දැනුමී දීම මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලේක බණ්ඩාර සේනානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බණ්ඩාර ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම කාන්තාව මියගොස් සිටි නිවසට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමේදී එහි විදුලිය විසන්ධි වී තිබුණු අතර පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලැබු‍වේ ටෝච් එළියෙනි. මෙහිදී මළ සිරුර බිම වැටී ඇති ආකාරය මෙන්ම ලේ තැවරුම් කිහිපයක් තිබෙන ආකාරයද නිරීක්ෂණය වී තිබිණි. එමෙන්ම ඇය වැටී සිටි මුළුතැන්ගෙයි රොටී පිළියෙළ කර ඇති ආකාරයක් මෙන්ම විදුලි මොබ් යන්ත්‍රයක් ස්වීචයකට සවිකර ඇති ආකාරයද එම යන්ත්‍රයේ ප්ලග් එකෙහි වයරයක් ගැලවී ඇති ආකාරයද නිරීක්ෂණය වී තිබිණි.



කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජන් අබේවර්ධනගේ උපදෙස් මත අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ( සොකෝ) නිලධාරීන්ද මෙහි පැමිණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ මෙය හුදෙක්ම ස්වභාවික මරණයක් නොව ඝාතනයක් බවට ඇතිවූ සැකය පදනම් කරගෙනය.

මෙම කාන්තාවගේ මළ සිරුර සීගිරියේ භාවනා කටයුතුවල නිරතව සිටින අධිනීතිඥයෙකු වන නිර්මාල් ප්‍රනාන්දු විසින් හඳුනාගෙන තිබුණු අතර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදි. මෙම පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ම යොදවා සිදු කිරීමට හේතු වූයේ මෙය ගෙල සිරකිරීමකින් සිදුවූවක් ද යන්න නිශ්චිතව හඳුනාගැනීමටය. කෙසේ වෙතත් අධිකරණ විශේෂඥ වෛද්‍ය මඩුල්ල විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියෝග කළහ. එහෙත් මෙම කාන්තාවගේ මරණයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි විය. මේ අනුව අධිකරණ වෛද්‍යවරුන් මෙම කාන්තාවගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකරමින් මරණයට හේතුව සොයාගැනීමට පියවර ගත්හ.

කෙසේ වෙතත් මෙම කාන්තාව නිවසේ තනිව සිටීම, ඇයගේ සහෝදරයාගේ පුතු විසින් ඇයගේ මරණය ගැන දැනුම් දීම, ඔහු නිරන්තරයෙන් එම නිවසට නොයන අයෙකු වීම මෙන්ම මැය වෙනත් පුද්ගලයකු අතින් ඝාතනයට ලක්වීමටද වැඩි ඉඩකඩක්පැවතීම යන කරුණු මුල් කරගනිමින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ආරම්භ කරනු ලැබීය.ඒ ඝාතනය සිදුවී දින පහකට පසු එනම් දෙසැම්බර් 20 වැනිදා මෙම කාර්යංශය වෙත මෙම විමර්ශනය භාරදීමෙන් පසුවය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර ඇතුළු නිලධාරීන් විසින් ප්‍රථමයෙන්ම මෙම ඝාතනය ගැන සැකකරනු ලැබුවේ මෙය පවුලේ සමීතමයෙකුගේ සම්බන්ධයක් මත සිදුව ඇති බවය. මේ අනුව ඝාතනයට ලක්වූ මිත්‍රානි ප්‍රනාන්දු නමැත්තියගේ දුරකතන වාර්තා මෙන්ම අසල්වාසීගෙන්ද විවිධ ප්‍රශ්න කිරීම් සිදුකිරීමට ඔවුහු පියවර ගත්හ.

මිත්‍රානි පදිංචිව සිටි නිවෙසේ ආරක්ෂිත කැමරා දර්ශන සටහන් වන පද්ධතියක් නොමැති වීම නිසා අවට පිහිටි නිවාස හා ව්‍යාපාරික ස්ථා‍නවලින් කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබුණි.

මෙහිදී මෙම නිවසට 15 වැනිදා උදෑසන 08.00 ට පමණ පැමිණි පුද්ගලයෙකු ගැන අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.

එම පුද්ගලයා නිවෙසට පැමිණ පැය දෙකකට පමණ පසු පිටව යන ආකාරයත් එදිනම මධ්‍යහන 12.00ට පමණ ආපසු මෙම නිවසට පැමිණ ගෑස් සිලින්ඩරයක්, ලැප්ටොප් යන්ත්‍රයක් ද සමගින් පිටතට විත් ත්‍රිරෝද රථයක නැග යන ආකරයත් නිරීක්ෂණය වී ඇත. මේ අනුව මෙම පුද්ගලයා ගැන අනාවරණය කරගැනීමට මෙම විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකිව ඇති අතර ඔහු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරමින් විවිධ වැඩ කටයුතු සිදුකරන කම්කරුවෙකු බව අනාවරණය විය. එම පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන අවිවාහකයෙකු බවත් ඔහු සිය මව, නැගණිය හා මස්සිනා සමගින් දෙමටගොඩ දියසෙන්පුර නිවාස සංකීර්ණයේ ජීවත් වන අයෙකු බවද අනාවරණය වි ඇත. ඔහු මුලින් කොළඹ 07 කුරුඳුවත්ත තාරවත්තේ පදිංචිව සිට ඇති අතර පසුව මොවුනට දියසෙන්පුර නිවාස සංකීර්ණයේ නිවසක් හිමිව ඇත.

මේ අනුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සැකකාර කම්කරුවා ඊයේ උදෑසන සිය නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සුලමුල හෙළිකරගැනීමට හැකිව ඇත.

මෙම සැකකරු කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිවාස කිහිපයකම වැඩ කර ඇති පුද්ගලයෙකි. පසුගිය 14 වැනිදා මොහු මිත්‍රානි ප්‍රනාන්දු නමැති කාන්තාවගේ නිවස පවිත්‍ර කිරීමට ගොස් ඇත. ඔහු ඊට පෙරාතුවද මෙම නිවසේ විවිධ වැඩ කටයුතු සඳහා ගිය අයෙකු හෙයින් මිත්‍රානි ද මොහු හොඳින් දැන සිටි තැනැත්තියකි.

පසුගිය 14 වැනිදා වැඩ අවසන් කරන අතරතුර මිත්‍රානි පැලඳ සිටි ඇඳුම් හා ඇය පැලඳ සිටි රාත්‍රි නිදන ඇඳුමක් දැක ඇය කෙරෙහි ඔහුට යම් ආශාවක් ඇතිව ඇත. මේ අනුව පසුදින උදෑසන 08.00 ට පමණ මොහු එම නිවසේ වැඩට පැමිණ ඇත්තේ ඇය හා ලිංගිකව එක්වීමේ නොතිත් ආශාවෙනි.

මම මේ ගෙදර වැඩවලට නිතර යන එන කෙනෙක්. එදා 14 වැනිදා මම වැඩ කරන කොට නෝනා විටින් විට දැකගන්න පුළුවන් වුණා. ඇය වැන්දඹු කෙනෙක් කියලත් ඇය හැර නිවසේ කිසිවෙකුත් නැහැ කියලත් මම දැනගෙන හිටියා. එදා හවස ඒ නෝනා ඇඳන් හිටියේ නයිට් ගවුමක්. මේ ඇඳුම ඇඳන් ඉන්නවා දැක්කම මට ඇය එක්ක ලිංගිකව හැසිරෙන්න ආශාවක් ඇතිවුණා. ඒත් මට එදා ඒ දේ කරන්න බය හිතුණා. වැඩ ඉවර කරල ගෙදර ගිහිං පසුදා මේ නිවසට උදේ ආවා. ඒ ඇවිත් වැඩ කරන ගමන් මම නෝනව දැක්කා. මම බෙඩ්ෂීට් එකකුත් ගෙදරින් අරන් ඇවිත් හිටියේ. නෝනා එදා උදේ හිටියේ මුළුතැන්ගේ. මම එකවරම මුළුතැන්ගෙට ගියා. මම නෝනාව බිම පෙරළා ගත්තා. නෝනා මට ඒකට ඉඩ දුන්නේ නැහැ. මම ගෙනාපු බෙඩ් ෂීට් එකෙන් හිර කරගෙන මගේ ආශාව ඉටු කරගත්තා. පසුව මම බය වුණා එයා මේක පොලිසියට කියලා මාව අල්ලලා දෙයි කියලා.

ඒ නිසා මම නෝනාගේ බෙල්ල වයර් එකකින් හිර කරලා දැම්මා යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

පසුව මෙම සැකකරු ඝාතනය වූ ස්ථානය සෝදා පවිත්‍ර කර එම නිවසෙන් පිටව ගොස් ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. මෙලෙස පිටව ගිය සැකකරු දහවල් මෙම නිවසට යළි පැමිණ ගෑස් සිලින්ඩරයක්, ලැප්ටොප් පරිගණකය සහ මිත්‍රානි ප්‍රනාන්දුට අයත් ජංගම දුරකතනය සිම්පතද සමගින් රැගෙන ගොස් ඇති බවද හෙළිවී ඇත.සැකකරු විසින් රැගෙන ගිය එම භාණ්ඩ දෙමටගොඩ ප්‍රදේශයේ කිහිප දෙනෙකුට අලෙවි කර තිබියදී සොයා ගත් බවද කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කරයි. මෙම සැකකරු අද ( 03 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරීවරුන් වන කීර්තිසිංහ, අනිල් ජයන්ත යන නිලධාරීන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර, උප පොලිස් පරීක්ෂක මෙරීනෝ, පොලිස් සැරයන් (36919) චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන (68039) මාලිංග, (26024) කුමාර, (88651) හේරත්, (103418) ඉෂාර, පොලිස් කොස්තාපල් රියදුරු (99023) වර්ණසූරිය ඇතුළු නිලධාරීහු මෙම විමර්ශනය සිදුකළහ.

(එස්. අස්ලම්)