colombo-cctv
කොළඹ නගරයේ ස්ථාපනය කර තිබෙන ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය හරහා මාර්ග නීති කඩකරන රියදුරන් හදුනාගෙන අදාළ නීතිමය කටයුතු කිරීමේ කටයුතු මේ මස 22වැනිදා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.




මේ අනුව ආරක්ෂිත කැමරා පද්ධතිය හරහා හඳුනාගන්නා රථවාහන වැරදි සම්බන්ධයෙන් වාහන හිමිකරු පදිංචිව සිටින පොලිස් බලප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත යොමුකර, අදාළ නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු කරන බවද පවසා සිටියේය.

“ආරක්ෂිත කැමරා සවිකර තිබෙන ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් ලබාගන්නා රථවාහන වැරදි ප්‍රමණයට වඩා තුන්සිය ගුණයක් පමණ රථවාහන වැරදි සිදුවෙනවා කියලා ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කරල බැලුවාම පෙනෙනවා.

මේ අනුව කැමරා පද්ධතිය නිරීක්ෂණය කරලා මේ මස 22වන දින සිට නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

කවුරු හරි කොළඹට වාහනයකින් ආවොත්, කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය වුණොත් රථවාහන වැරැද්දක් වෙලා තියෙනවා කියලා ඒ වීඩියෝව ආරක්ෂිත කැමරා පද්ධති මධ්‍යස්ථානය මගින් අදාළ වාහනයේ හිමිකරු පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට යොමු කරනවා.

මේ අනුව පොලීසියට ඇවිල්ලා වැරැද්ද බලන්න කියලා වාහනයේ හිමිකරුට අදාළ පොලීසියෙන් දැනුම් දීමක් සිදුකරනවා. අපි උත්සාහ කරනවා මහජනතාවට නැවත වතාවක් කොළඹ ඇවිල්ලා, දඩ කොලය ගෙවීම වෙනුවට තමන් කරපු වැරැද්ද සම්බන්ධයෙන් වාහන හිමියා පදිංචිව ඉන්න බලප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් දඩ කොළය ලබාදීලා,

එම ප්‍රදේශයේදීම දඩ කොළය ගෙවීමේ හැකියාව ලබාදෙන්න.

නැතිනම් ජනතාවට රස්තියාදු වෙන්න සිදුවෙනවා. එ්ක වැළැක්වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. කොළඹ නගරයේ දීර්ඝ කාලයක සිට ආරක්ෂිත කැමරා පද්ධති සවිකරලා තියෙනවා. ඒකෙන් පසුගිය කාලයේ ගත්ත ප්‍රයෝජනය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ.”

 ඉන්දික හේවාවිතාරණ