crishantha-perera-issue

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන,අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් දෙදෙනා සහ සේවිකාව ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් ඛන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා ඊයේ (21) සවස නියෝග කළේය.



එදින ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද දැනුම් දුන්නේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ, ගාල්ල කොට්ටවගම පදිංචි අනෝමා නිලන්ති සුබසිංහ, අකුරැස්ස දියලපේ පදිංචි සුජීවන් විජේසිංහ සහ පෝද්දල පදිංචි ප්‍රදීප් ලාල් ජාගොඩ යන තිදෙනා වෙති.

ඉකුත් 16 වැනිදා පැවැති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට ප්‍රකාශ කර තිබුණත්, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කනිෂ්ඨ සේවකයන් වර්ජනයට සහභාගි වීම සම්බන්ධයෙන් පසු දින වෛද්‍යවරයා සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලය අතර ඇති වූ ආරවුලකදී කනිෂ්ඨ සේවකයන් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබූ පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.



මේ අතර, කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයකුට එදින පහරදීමේ චෝදනාව යටතේ ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද වෛද්‍යවරයා අද (22 වැනිදා) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ සැකකාරිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරමින් පොලීසිය කියා සිටියේ, පරීක්ෂණ තවමත් අවසන් නොමැති බවත්, තමාට පහරදුන් සැකකරුවන් නැවත දුටුවොත් හඳුනාගත හැකි යැයි වෛද්‍යවරයා සහ සාක්කිකරුවන් ප්‍රකාශ දී ඇති බවත්ය.

ඒ අනුව, සැකකරුවන් සහ සැකකාරිය හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරා සැකකරුවන් සහ සැකකාරිය එදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියෝග කළේය.

ගාල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිල්වා මහතාගේ උපදෙස් පරිදි, උප පොලිස් පරීක්ෂක විදුර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ පූර්ණිකා රාජපක්ෂ මහත්මිය පෙනී සිටියාය.

කරාපිටිය රෝහලේ පසුගියදා ඇතිවූ ගැටුමක් හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටින පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා කලින් විශ්‍රාම යාමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකර ඇත. එම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත්ව විශේෂඥ වෛද්‍යවරයා විශ්‍රාම යාමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මේ වනවිට 61 වන වියේ පසුවන අතර විශ්‍රාම යාම සඳහා ඔහුට තවත් වසර දෙකක කාලයක් ඉතිරිව තිබිණි.කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහර දුන්නේ යැයි චෝදනා කරමින් රෝහලේ සුළු සේවකයන් පිරිසක් ඉකුත් 17 වැනිදා හ දිසි ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට කලබලකාරි ලෙස හැසිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.මේ අතර කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත්ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බවත් මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටද මෙම සංගම් චෝදනා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත හොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බවද එම සංගම් ප්‍රකාශ කරයි.

 (පී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක හා  ඩී.ජී. සුගතපාල)