dead-body-kelawarapitiy

සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටිය දී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර තිබෙන ඔහුගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

ස්වාභාවික හේතූන් මත තම සේවාදායිකාවගේ පියා මියගොස් ඇති බව ඉන්දියානු බලධාරීන් දැනුම් දී ඇතත් පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල මෙන්ම පියා මියගිය බවට පවසන ස්ථානය පරස්පර බව පවසමින් නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙලෙස යළි ගොඩගෙන පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලද්දේ මයිකල් ඩැනියල් ජයරාජ් මහතාගේය. නීතීඥ අස්විද රවීන් බෙනඩික් මහතා මගින් පෙත්සම ඉදිරිපත් කළ වත්තල කල්‍යාණි මාවතේ පදිංචි ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය තමන් සමග විසූ තම පියා 2023 සැප්තැම්බර් 20 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි මයිකල් වික්ටෝරියා නමැති තම සහෝදරිය බැලීමට ගියේ යැයි සඳහන් කළාය.


 පියා එහි සිටිය දී 2023 ඔක්තෝබර් 30 වැනිදා නංගිගේ සැමියා ' වට්ස්ඇප් පණිවුඩයක් එවමින් බඩේ අමාරුවක් සෑදී රෝහල් ගත කළ පසු පියා මියගිය බව දැනුම් දුන් අතර පසුව යළිත් පණිවුඩයක් එවමින් ඇවිදීම සඳහා උයනට ගොස් සිටිය දී රෝගීව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දැනුම් දුන්නේ යැයි ද ජෙයරාජ් රුත් ක්‍රිස්ටිනා මහත්මිය ඉන්දියානු රුපියල් ලක්‍ෂ 1, 1/2ක මුදලක් ගෙවු පසු මෙරටට ගෙන් වූ පියාගේ දේහයේ නළලේ, උරහිසේ සහ අතේ තුවාල දකින්නට තිබු බවද සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා ඉදිරියේ පැවැති මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් නිකුත් කළ වාර්තාවක 'කාඩියක් ඇරස්ට්' වශයෙන් ද එය ‘ස්වභාවික හේතුවක් මත වී ඇති බවට සඳහන් කර ඇතැයි ද කීවාය.



පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම සහ පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල සම්බන්ධයෙන් සැක උපදවන්නේ යැයි කී රූත් ක්‍රිස්ටිනා මහත්මිය කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කළ පියාගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය. නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාව ඉදිරිපත් කළ කරුණු පිළිගෙන කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කළ ඇගේ පියාගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉල්ලීම පිළිගනිමින් මයිකල් ඩැනියල් ජයරාජ නමැත්තාගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කර අදාළ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර