
මෙලෙස ඝාතනයට ලක්වූයේ, දැදිගම නෙළුම් දෙණිය මල්මැස්සේ පදිංචිව සිටි, 43 හැවිරිදි, වෙඩික්කාර දුරයලාගේ සම්පත් රුවන් කුමාර නමැති, දෙදරු පියෙකි.
ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියා නෙළුන්දෙණිය ප්‍රදේශයේ රබර් වත්තක මුරකරුවකු බව පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියාට රුසියාවේ නිෂ්පාදිත පතොරම් ගිනි අවියක් ඇති බවත්, පිය පුතු දෙදෙනා කාලයක සිට ජයලත් කන්දේ වල් ඌරන් මස් පිණිස ඝාතනය කිරීමට යන බවත්, මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පිය පුතු දෙදෙනා පෙරේදා (28) රාත්‍රී ගිනි අවියක් රැගෙන ජයලත් කන්දට පැමිණ ඇති අතර, පුතා ගිනි අවිය රැගෙන කන්ද පාමුල පිහිටි කුඹුරේ සිට ඇත. පියා කන්ද දෙසින් විදුලි පන්දම නිවා ගෙන පහළට බසින අවස්ථාවේදී පුතා, පල්ලමට වල් ඌරකු බසින්නේ යැයි සිතා ගිනි අවිය ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය පවසයි.
වෙඩි උණ්ඩයක් පියාගේ වම් පස නළලට වැදී, වැටී ඇති බව පැවැසේ.
පුතා පැමිණ බලන අවස්ථාවේදී පියාගේ හිසට වෙඩි වැදී වැටී සිටින අයුරු දැක ගිනි අවිය අසල දමා, කිලෝමීටර් තුනක් පමණ ඈතින් පදිංචිව සිටින මාමාගේ නිවෙසට ගොස් සිද්ධිය දන්වා, මාමා සමග තරුණයා දැදිගම පොලිසියට පාන්දර 3.30ට පමණ ගොස් පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.
පසුව පොලිසිය එම ස්ථානයේ තිබී පතොරම් ගිනි අවිය ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
වරකාපොළ තුල්ගිරිය මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඊයේ (29) සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළාය.
කෑගල්ල පොලිස් නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.
(චමින්ද වැවතැන්න)
Comments
Post a Comment
Your comment will be visible after approval