dehiwala-hotel-dozer

ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ බව කියන සුපිරි හෝටලයක් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් ආරක්‍ෂාව යටතේ ඊයේ (1) කඩා ඉවත් කරනු ලැබීය.

කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් කළ විමර්ශනවලදී මෙය 1981 අංක 57 දරන වෙරළ සංරක්‍ෂණ පනත අනුව අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා එම හෝටලය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාට නියෝග කිරීමෙන් පසුව ඔහුගේ දැනුම් දීම අනුව ක්‍රියාත්මක වූ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොලිසියේ හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේද ආරක්‍ෂාව යටතේ බැකෝ යන්ත්‍ර යොදාගෙන එම හෝටලය මෙසේ කඩා ඉවත් කළේය.



මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන, නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි I රෝහාන් පුෂ්පකුමාර, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප සී. පෙරේරා, දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුරාධ හේරත් යන මහත්වරුන් ඇතුලු ගල්කිස්ස, දෙහිවල, කොහුවල ඇතුළු පොලිස්ථානවල නිලධාරීහු හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘යුක්තිය' මෙහෙයුමේ නිරත පොලිස් කණ්ඩායම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ ජාවාරම් මගින් උපයන දේපළ තහනම් කිරීමට පියවර ගනිමින් සිටිති. මෙම වැටලීමද ඒ අනුව ක්‍රියාත්මක වූවකි.
එච්.එම්. ධර්මපාල