dengue-death-hasini

ඩෙංගු රෝගය වැලදී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක ඊයේ (16) මියගිය බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු වැනි වසරේ දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නමැති තරුණියකි.

උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහලේ අංක පහ වාට්ටුවේ දින හයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඉන් අනතුරුව ඇය 11 වැනිදා දැඩිසත්කාර ඒකකයට යොමු කර සිටි අතර ඒ අවස්ථාවේදී වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණි. එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ (16) අලුයම එහිදී මිය ගියාය.මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේදී සුමේධ ගුණවර්ධන මහතා විසින් පවත්වනු ලැබූ අතර ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව සහ සාක්කි සැලකිල්ලට ගෙන තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වහනය වීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට තීරණය කළේය.
  බිමල් ශ්‍යාමන් ජයසිංහ