divulapitiya-incident

කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු හිටපු යුද හමුදා සෙබළකු ඔහුගේ ලොකු අම්මා සහ ඇයගේ දියණිය ඇතුළු සිවුදෙනකු අයිස් මත්ද්‍රව්‍ය, යුද හමුදා නිල ඇඳුම් 4 ක්, ටී 56 උණ්ඩ 8 ක් සහ ලේසර් පතුරම් 2 ක් සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් බඩල්ගම හා දූනගහ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.



දිවුලපිටිය පොලිසියේ නිලධාරීන්ට පෙරේදා (3) ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය, ඉඳුරාගාර හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පරීක්ෂා කළ අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ අයිස් ග්‍රෑම් 13 ක් සහ මිලිග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙහි ප්‍රධාන සැකකරු යුද හමුදාවේ හිටපු සෙබළකු බව හෙළිවී ඇත.ඒ අනුව එම සැකකරු පිළිබඳව ඇතිවූ සැකය මත ඔහු පදිංචිව සිටින ලොකු අම්මාගේ නිවෙස පරීක්ෂා කිරීම සඳහා දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් එම නිවෙසට ඇතුළුවීමේදී රොට්වයලර් වර්ගයේ බල්ලන් තුන් දෙනකු ලිහා දමා නිවෙස පරීක්ෂා කිරීම වළක්වාලීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය පවසයි.



කෙසේ වෙතත් පොලිසිය කළ පරීක්ෂා කිරීම්වලදී තවත් අයිස් ග්‍රෑම් 16 ක්, යුද හමුදා කැලෑ ඇඳුමක් සහ යුද හමුදා නිල ඇඳුම් 3 ක් ද නිවසේ තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. ඒ අනුව ප්‍රධාන සැකකරුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා අනුබල දුන් බව කියන එම නිවෙසේ පදිංචි සැකකරුගේ ලොකු අම්මා සහ ඇයගේ දියණිය ද අත්අඩංගුවට ගනු ලැබූහ.සැකකරු ටී 56 උණ්ඩ සහ යුද හමුදා නිලඇඳුම් ළඟ තබාගෙන සිටියේ කිසියම් අපරාධයක් කිරීමටදැයි පරීක්ෂණ පවත්වති. ප්‍රධාන සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ කරන අතර සෙසු සැකකරුවෝ තිදෙනා ඊයේ (4) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
ගයාන් සූරියආරච්චි