doctor-salary-issue
බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රු.35,000 දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබා දී නොමැති නිසා එම දීමනාව ලබා ගැනීම හා තවත් ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා අද (22දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.


අද බස්නාහිර පාළත තුළ පිහිටි අයුර්වේද රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මර්ගයක් සිදුකරන බවත්,


මීට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එම කමිටුවේ සමකැඳවුම්කරු වෛද්‍ය චතුර ජානක මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන වෛද්‍ය සේවා දෙක වන්නේ බටහිර වෛද්‍ය සේවාව හා ආයුර්වේද වෛද්‍ය සේවාව බවත්, මෙම සේවා දෙකම පිළිගත් සමාන්තර සේවා දෙකක් හෙයින් වෛද්‍ය සේවා දෙකේම වැටුප සමාන බවත් හෙතෙම සඳහන් කළේය.

බටහිර වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාව රු.30000කින් ඉහළ දැමීමට කටයුතු කළද, අයුර්වේද වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනා කිසිදු මුදලකින් ඉහළ දමා නොමැති නිසා අයුර්වේද වෛද්‍යවරුන්ටද රු.35000 දීමනාව ලබා දිය යුතු බව වෛද්‍ය චතුර ජානක මහතා පැවසීය. මෙම ඉල්ලීම් හා ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙසත්, අමතර සේවා දීමනා ගැටලු විසඳන ලෙසත් ඉල්ලා

අද බස්නාහිර පළාතෙහි අයුර්වේද රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ එක් දින වැඩවර්ජනයක් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම ක්‍රියා මර්ගය සඳහා යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් අනෙකුත් පළාත්වල තිබෙන රෝහල් තුළද වැඩවර්ජන සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත්, අද දිනයේදී බස්නාහිර පළාතේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් වෛද්‍ය චතුර ජානක මහතා පැවසීය.

 ඉන්දික හේවාවිතාරණ