electricity-bill-fix

ඉකුත් ඔක්තෝබර් මස සිට සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (4) පැවසීය.පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් ඒ මහතා කීය.



විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තාත් මේ වන විට සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා කීය.

මාස තුනක අධික වර්ෂාවත් සමඟ ගිගාවොට් පැය 1200 ක පමණ විදුලියක් ලැබුණු බවත් ජලාශ මේ වන විට ජලයෙන් පිරි පවතින බවත් කී ඒ මහතා ඔක්තෝබර්, නොවැම්බර් දෙසැම්බර් යන මාසවල අධික වර්ෂාවක් ලැබුණු බව ද පැවැසීය. විදුලිබල මණ්ඩලය පසුගිය ජූලි මස සියයට 14.5 කින් ගාස්තු අඩු කළ බව කී ඒ මහතා පැවසුවේ ගිණුම් සකස් කිරීමෙන් පසුව මෙවර ගාස්තු අඩු කරන ප්‍රමාණය

නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවය. විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළේය.

 යොහාන් භාසුර