eng-wijesinghe-missing
බොරලැස්ගමුව ප්‍රදේශයේ සිවිල් ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු සමග බළංගොඩ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් හවුලේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික මිතුරන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මීට අමතරව තවත් අට දෙනකුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. අතුරුදන්ව ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ (66) නමැති සිවිල් ඉංජිනේරුවකු වන අතර ඔහු අතුරුදන් වූයේ මීට දින 12 කට පෙරදීය.අතුරුදන් වූ ඉංජිනේරුවරයාට අයත් කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මංසන්ධිය අසල තිබියදී රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි අඟුරුවාතොට පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය මස 29 වැනිදා අලුයම 1.30 ට පමණ සොයාගනු ලැබීය.ඒ අවස්ථාවේදී එම කැබ් රථයේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් වාහනය ඇතුළත නිරීක්ෂණය කිරීමේදී එහි ලැප්ටොප් පරිගණකයක්,

ඇඳුම් පැළඳුම් අඩංගු ගමන් බෑගයක්, සෙරෙප්පු යුගලක්, කැප් තොප්පියක් හා රියදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් ද තිබී සොයාගෙන ඇත.


මුදල් පසුම්බියේ තිබූ දුරකතන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් දීමේදී අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවාගේ බිරිඳ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, සිය සැමියාට ඊට පෙර දින රාත්‍රී 8.30ට පමණ දුරකතන ඇමතුමක් ලබා දීමේදී ඔහු කැස්බෑව ප්‍රදේශයේ පැමිණෙන බව ප්‍රකාශ කළ බව ඇය පොලිසියට පවසා ඇත.විමර්ශන කරන පොලිස් නිලධාරීන් සිවිල් ඉංජිනේරුවරයාගේ දුරකතන අංකය පිළිබඳව කළ පරීක්ෂාවේදී ඔහු අවසන් වරට නිවෙසට ඇමතුම් ලබා ගෙන ඇත්තේ ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේදී බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු කිසියම් පුද්ගලයකුගේ හෝ පිරිසකගේ බලපෑමකට යටත් වී කැස්බෑවේ බවට බොරුවක් බිරිඳට පැවසුවා දැයි මේ අනුව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත. අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා බලන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ජල විදුලි බලාගාරයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවත නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් මස 25 වැනිදාය.ඔහු ඉකුත් මස 28 වැනිදා දින බලංගොඩින් සිය නිවෙස බලා ඒම සඳහා පිටත්ව සවස 4.41 ට පමණ බලංගොඩ නගරයට පැමිණ, පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. කුටියකින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා ගෙන, විදුලි බලාගාරයේ කළමනාකරුවකුට ඉන් රුපියල් එක් ලක්ෂ අනූදහසක මුදලක් දී ඇති බවට එම කළමනාකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.



අනතුරුව බලංගොඩ සිට කිරිඇල්ල දක්වා පැමිණෙන අයුරු සිසිටිවී කැමරා දර්ශන වල සටහන්ව ඇති අතර ඉංගිරියට ආසන්න ඌරුගල සිට ඉංගිරියට විනාඩි දෙක තුනක් වැනි කාලයකදී පැමිණිය හැකි මුත් ඔහු ඌරුගල දෙසින් ඇගල් ඔය පාරේ ධාවනය කර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.අනතුරුව විනාඩි 45 ක් වැනි දීර්ඝ වේලාවකට පසු ඉංගිරිය නගරය පසුකර රෝහල ආසන්නයෙන් මතු වී හොරණ හරහා යාල හන්දියෙන් නාර්තුපාන දෙසට තමන් ගන්නා අයුරු සීසිටීවී කැමරාවල සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

එලෙස ඉංගිරිය නගරය මගහැර මෝටර් රථය ධාවනය කර තිබුණේ ඉංගිරිය නගරය ආසන්නයේ යොදා තිබෙන පොලිස් මාර්ග බාධකය මග හැර යාමට දැයි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. අතුරුදන්ව ඇති සිවිල් ඉංජිනේරුවරයාගේ නිවෙසට පැමිණෙන මාර්ගයට ප්‍රතිවිරුද්ධ මාර්ගයක මෝටර් රථයේ ගමන් කර, රාත්‍රී 9.30 ට පමණ එහි ඉදිරිපස විදුලි ලාම්පු නිවා දමන අයුරු සී.සී. ටී. වී. කැමරාවක සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියා පැවසීය. යම්කිසි කණ්ඩායමක් සිවිල් ඉංජිනේරුවරයා පැහැර ගත්තාද, නැති නම් ඔහු නාර්තුපාන පාලමෙන් කළු ගගට පැන සිය දිවි නසා ගත් බවට ඇඟ වීමට ඔහුගේ කැබ් රථය ඒ ආසන්නයට ගෙනත් දැම්මාද යන්න ගැන පැති කීපයක් ඔස්සේ විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 සුමිත් පොතුපිටිය