ethimale-incident
ඇතිමලේ, විලඔය 06 කණුව ප්‍රදේශයේ පාසලක තුනේ පන්තියේ ඉගෙනුම ලබන හත් හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කළ පාසල් සිසුන් දෙදෙනෙකු පෙරේදා (14දා) ඇතිමලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.




එම ප්‍රදේශයේම පදිංචි සාමාන්‍ය පෙළ පන්තියේ 15 හැවිරිදි හා 16 හැවිරිදි පාසල් සිසුන් දෙන්නෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

අදාළ දැරියගේ මව කොළඹ කොට්ටාව ප්‍රදේශයේ රැකියාවකට ගොස් ඇති අතර ඇය මිත්තණිය භාරයේ සිට ඇත. මේ අතර සිද්ධිය පිළිබඳ දැරියගේ මවගේ සහෝදරියක විසින් කළ දැනුම් දීම මත මව පැමිණ සිදු කළ තොරතුරු විමසීමේදී 2023 ඔක්තෝබර් මාසයේ හා පසුගිය (13දා) ඇය අපයෝජනයට ලක් කොට ඇති බවට අනාවරණය වී ඇත. අනතුරුව සිද්ධිය පිළිබඳ මව විසින් ඇතිමලේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇතිමලේ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පක්ෂණ සිදු කරයි.