evolve-education-bambalapitiya

කැනඩාවේ රැකියා අපේක්ෂකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් ලබාදෙන බවට පවසා පාඨමාලා හදාරන්නන්ගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාගත්තේ යැයි කියන ඛම්බලපිටිය පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (01) නියෝග කළේය.



පාඨමාලා හදාරන්නන් හැට දෙනකුට අධික පිරිසක් පැමිණිලි කර බම්බලපිටිය පොලිසිය මගින් නඩු පවරා තිබියදීත් ඒ ගැන නොසලකා තවදුරටත් අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන බවට ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.පෞද්ගලික අධ්‍යාපන ආයතනය නිසි අවසරයකින් තොරව නීති විරෝධීව පවත්වාගෙන යන්නේ නම් එය තහනම් කළ යුත්තේ රජයේ කුමන ආයතනයකින්ද, පොලිසිය මගින් අදාළ රාජ්‍ය ආයතනවලට පිළිබඳව දැනුම් දී ඇත්ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළේය.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ කොමිෂන් සභාව මෙවන් අධ්‍යාපන ආයතන නියාමනය කරන බවත් විත්තිකාර ආයතනය එසේ නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන බවට එම කොමිසන් සභාව සඳහන් කර ඇති බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.මට්ටක්කුලියේ පදිංචි මොහොමඩ් අස්මාල් ඉස්මත් හසන් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.‘ළමා සහ වැඩිහිටි සාත්තු සේවා', ‛පාඨමාලා සඳහා’ ‘NVQ level 4' සහතික පත්‍ර ලබාදෙන බවට පවසා

රුපියල් කෝටි පහකට අධික මුදලක් පාඨමාලා හදාරන්නන්ගෙන් වංචනිකව ලබාගත්තේ යැයි කියන පැමිණිලි තවම ලැබෙමින් පවතින බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

අධ්‍යාපන ආයතනය අදාළ නීත්‍යානුකූල බලපත් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත්, සති දෙකකින් පමණ එම අවසරය ලැබෙනු ඇති බවට අධ්‍යක්ෂවරුන් විශ්වාස කරන බවත් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කීය. නඩුවක් පැවතිය ද අධිකරණ නියෝග නොසලකමින් විත්තිකරුවන් කටයුතු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය. “Evole college education" නමැති ආයතනයට හා එහි අධ්‍යක්ෂවරුන්ට නඩු පවරමින් අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ගිරිඋල්ලේ නිපුනි අවේෂිකා යන අයට පසුගිය දෙසැම්බර් 04 වැනි දින අධිකරණය ඇප නියම කළේය.තවත් අධ්‍යක්ෂවරුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය එදින අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එක් සිසුවකුගෙන් රුපියල් 1,85,000 ත් රුපියල් 3,75,000 ත් අතර මුදලක් පාඨමාලා සඳහා අය කරගෙන ඇති බවත්, කැනඩාවේ රැකියාව අපේක්ෂාවෙන් වෛද්‍යවරුන් නීතිඥයන් හා ආයතනවල සාමාන්‍ය අධිකාරීවරුන් පවා මෙම පාඨමාලාව හදාරා වංචාවට හසු වී ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
රොෂාන් තුෂාර