four-member-family

රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේ වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ පන්දහස් දෙසිය දෙකක් බවට පත් වී තිබෙන බවත්, එහෙත් බොහෝ රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප රුපියල් තිස්දහසක් හෝ ඊට ආසන්න මුදලක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ නිසා අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව මේ මාසයේ වැටුපට එකතු විය යුතු බවත්, වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින විසිදහසක මාසික දීමනාව අප්‍රේල් මාසයේ සිට ලැබිය යුතු බවත් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.



රාජ්‍ය සේවකයන්ට අයවැය තුළින් ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව අප්‍රේල් මාසයේදී ලබා දෙන බවට ආණ්ඩුව මුලින් සඳහන් කළ බවත්, එහෙත් පසුව අදාළ දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දෙන බවට ආණ්ඩුවේ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද පවසා සිටියේය.

වෘත්තීය සමිති විසින් රුපියල් විසිදහසක දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි බවත්, මේ වෙනුවෙන් පසුගිය මාසයේදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග පවා සිදුකළ බවත්, මේ අනුව රුපියල් විසිදහසක දීමනාව ලබා දීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කර එම මුදලින් කොටසක් ලෙස රුපියල් දසදහසක මුදල මේ මාසයේ සිට ලැබිය යුතු බවද සඳහන් කළේය.

මේ මස 20වන දින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ලැබෙන බවත්, මේ අනුව රුපියල් දසදහසක මුදල වැටුපට නොලැබුණහොත් එදිනෙන් පසු රාජ්‍ය සේවය තුළ ඇතිවන වෘත්තීය ක්‍රියාමාර්ග කොතරම්ද යන්න කිව නොහැකි බවද පවසා සිටියේය.



රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය ඔක්තෝබර් 31වන දින වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ දෙදහස් නවසිය හැත්ත අටක් ලෙස සටහන් වූ බවත්, එම මුදල මේ වන විට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය. ජීවන අංකයේ වටිනාකම අවසන් වරට යාවත්කාලීන කර තිබෙන්නේ 2021 වසරේදී බවත්, මේ අනුව ජීවන අංකයක වටිනාකම තවමත් පවතින්නේ රුපියල් 507ක් ලෙස බවත්, මේ වන විට ජීවන අංක සංඛ්‍යාව 203 සිට 207.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ