galle-toylet-issue

ලෝක උරුමය ප්‍රදේශයට අයත් වන ගාල්ල කොටුව මහාධිකරණය ආසන්නයේ වැසිකිළි වළක් හෑරීමට බව පවසමින් එම භූමියේ ඇති ගලක් යන්ත්‍ර සූත්‍ර යොදා කඩා දමා ඇතැයි කොටුවේ පදිංචිකරුවෝ පවසති.මෙම වළ හාරා ඇත්තේ ගාලු කොටුවේ පළමුවෙන්ම ඉදිකරන ලද බව කියන පෘතුගීසි බළකොටුව හෙවත් කළු කොටුව ආසන්නයේ බව පැවසේ. මෙම වළ පසුගිය සෙනසුරාදා (06) සහ ඉරිදා (07) හාරා ඇති බවත්,

එම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු සම්බන්ධ වී නැති බවත් ඔවුහු චෝදනා කරති. මීට පෙර ගාල්ල කොටුවේ තම නිවෙසේ වැසිකිළි වළක් හෑරූ තරුණයකු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාස කිහිපයක් බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනුණු හෙයින් ඔවුන් විමසා සිටින්නේ මෙය නීති විරෝධී නොවන්නේද යන්නයි.

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ වසන්තා අලහකෝන් මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ,

මෙම වැසිකිළි වළ ඉදිකිරීම සඳහා අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට අවසර දුන් බවයි. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සිදුනොවන්නේ මන්දැයි විමසූ විට ඇය කියා සිටියේ, ගල කඩා දැමීම ගැන සොයා බලන බවයි.

1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 21 දරන පුරාවස්තු සංශෝධන පනත අනුව පුරාවිද්‍යා භූමියක හෝ එහි ප්‍රේරණ කලාපය තුළ මෙවැනි හෑරීමක් සිදුකරන්නේ නම් එය කළ හැකි වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් බව පැවැසේ.මේ පිළිබඳ විස්තර දැනගැනීමට ගාලු උරුමය පදනමට කතා කළ විට එහි කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ මහාධිකරණය අසල වැසිකිළි වළක් හෑරීම පිළිබඳ තම ආයතනය කිසිවක් නොදන්නා බවයි.