gampola-police-incident

හිටපු අමාත්‍යවරයකු මෙන්ම වර්තමානයේ පාරිලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරියකගේ පුතුන් දෙදෙනා පරීක්ෂාවට ලක් කළේ යැයි කියමින් එම මන්ත්‍රීවරයාගේ මස්සිනා ගම්පොළ ප්‍රදේශයේ පොලිසියකට බීමත් පිරිසක් සමග කඩා වැදී කලහකාරී ලෙස හැසිරි එහි ස්ථානාධිපතිවරයාට සහ පුතුන් දෙදෙනා පරීක්ෂා කළ නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

පුතුන් දෙදෙනා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැන තමා දන්නා බවත් ඉදිරියේ දී ඔවුන් ගැන බලා ගන්නා බවත් මන්ත්‍රීවරයාගේ මස්සිනා පොලිසියට තර්ජනාත්මකව පවසා ඇතැයි කියති.

හොරුන් පරීක්ෂා කරන ආකාරයට තම පුතුන් දෙදෙනා පරීක්ෂාවට ලක් කළ බවට චෝදනා කරමින් පොලිසියට කඩා වැදී මෙසේ තර්ජනය කර ඇති බව ද එම පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මෙම සිද්ධිය ගැන ඉහළ පොලිස් නිලධාරීන්ට නොදන්වා කරුණු වසන් කළේ යැයි කියන එම පොලිසියේ ස්ථානාධිපතිවරයා තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර ස්ථාන මාරු කර යවන ලෙස මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක මහතා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් අධිකාරීවරයකු පත්කර ඇත. ඔවුන් දෙදෙනා පරීක්ෂා කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ සහෝදරියකගේ පුතුන් දෙදෙනා බව නොදැන බව ද වාර්තා වේ.

පරීක්ෂාවට ලක්කර ඇති පුතුන් දෙදෙනා මන්ත්‍රීවරයකුගේ සහෝදරියකගේ පුතුන් බව දැනගත් පොලිස් ස්ථානාධිපතිවරයා එම දරු දෙදෙනාගෙන් සමාව ගන්නා ලෙස පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරියකු සිය නිල කාමරයට ගෙන්වා ඉල්ලීමක් කර ඇතැයි ද කියති.

යුක්තිය මෙහෙයුමේ නිරත වූ පොලිස් නිලධාරීන් ඉකුත් 29 වැනි දින මහනුවර ප්‍රදේශයේදී එම දෙදෙනා පරීක්ෂාවට ලක්කර තිබේ. ඔවුන් දෙදෙනා පරීක්ෂා කර ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බව පැවැසේ. පොලිස් නිලධාරීන් දෙදෙනා එසේ සමාව ගැනීම තරයේ ප්‍රතික්ෂේප කර සර්ගේ කීමට එම පරීක්ෂාව සිදුකළ බව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුහුණටම පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. සමාව ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් පොලිසියට පැමිණියහොත් උන්ටත් වෙඩි තබා සර්ටත් වෙඩි තබා තමා ද වෙඩි තබා ගන්නා බවට ආධුනික පොලිස් කොස්තාපල්වරයා තර්ජනය කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය