ganemulla-sanjeewa-assist-arrest

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට හුවමාරු කිරීමේ නිරතව සිටින ප්‍රධාන ගෝලයකු ටී 56 ගිනි අවියක්, පතුරම් රැසක් සමග ඊයේ (4) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම සැකකරු වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු බවත් එම පාසලේ ක්‍රිකට් පුහුණු කාර්යාලයේ කබඩ් එකක දමා සඟවා තිබිය දී ටී 56 ගිනිඅවිය ඇතුළු භාණ්ඩ සොයා ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ගණේමුල්ලේ සංජිව නමැත්තා සම්බන්ධයෙන් විමර්ශන කරන මහබාගේ පොලිස් කණ්ඩායමකට සැකකරු සම්බන්ධයෙන් හෙළිවූ තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ

රාගම පේරලන්ද ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා කීය. ගණේමුල්ලේ සංජිවට අයත් ගිනි අවි මෙම සැකකරු සතුව ඇති බවට ලැබුණු තොරතුරු අනුව ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අතර, පසුව ඔහු ක්‍රීඩා පුහුණුව සිදු කරන පාසලට ගොස් ඔහුගේ කාර්යාලය පරීක්ෂා කිරීමේ දී එහි කබඩ් එකක දමා තිබූ ඉහත ගිනි අවි සහ උණ්ඩ සොයාගෙන ඇත.

ටී 56 ගිනිඅවියක් එම මැගසින් හතරක්, උණ්ඩ 120ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 20 ක්, ඒ තුළ තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.සැකකරු මෙම ගිනි අවිය ඇතුළු උණ්ඩ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස කබඩ් එක තුළ සඟවා තිබූ බවද පොලිසිය කියයි.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක වන මෙහෙයුම් වලින් බේරීම සඳහා සැකකරු මේවා,

කිසිවෙකුටත් සැක නොහිතන ආකාරයට පාසලට රැගෙන විත් මෙලෙස සඟවා තබා ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරු රාගම පේරලන්ද ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු වසර කිහිපයක සිට ඉහත පාසලේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිට ඇත.ගණේමුල්ලේ සංජිව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් එකතු කරන්නා වූ මෙම සැකකරු, එම මුදල් උණ්ඩියල් ක්‍රමයට ජාවාරම්කරුවන් අතට පත්කිරීමේ නිරතව සිටින්නකු බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
 ඉන්දිකා රාමනායක