ganemulla-sanjeewa-lahiru

 ගණේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු වන, දැනට ඩුබායිහි සැඟවී සිටින ‘ලහිරු' නමැත්තා මෙහෙයවූ බව කියන ඝාතන දෙකකට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු හෙරොයින් ද සමග කඩවත, වෑබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලීසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකරු වෑබඩ ප්‍රදේශයේ පදිංචි, 26 හැවිරිදි පුද්ගලයෙකි.



කඩවත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර හෙට්ටිආරච්චි මහතාට ලැබුණු තොරතුරක් මත, එහි නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 600ක් ද සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 5 වැනිදාය.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉකුත් 2022 වසරේ කඩවතදී සිදු වූ ද්විත්ව ඝාතනයක තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

කඩවත ප්‍රදේශයේදී ඉකුත් 2022 වසරේ මාර්තු 24 වැනිදා ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පෑලියගොඩ ප්‍රදේශයේ දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෝ පස් දෙනෙක් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.



එම ඝාතනය සඳහා ගණේමුල්ලේ සංජිව නමැත්තා ගිනි අවි සපයා තිබූ බව හෙළි වී තිබිණි.

එම ඝාතකයන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු පිළිබඳව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් යතුරු පැදිය රැගෙන එමින්, ඝාතකයන්ට ආධාර අනුබල දුන් අය බවට හඳුනාගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම සැකකරු කාලයක් තිස්සේ ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇති බව ද පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි, කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීමෙන්, කැලණිය දිස්ත්‍රික් 5 බාර සහකාර පොලිස් අධිකාරි අර්ජුන කොඩිකාර මහතාගේ මූලිකත්වයෙන්,

කඩවත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් ප්‍රනාන්දු, උප පොලිස් පරීක්ෂක අභිෂේක් කරුණාතිලක, පොලිස් සැරයන් බාලසූරිය, පොලිස් කොස්තාපල් අසේල, ලැනරෝල්, කාන්තා පොලිස් කොස්තාපල් චලනි යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගයාන් සූරියආරච්චි