gmoa-sarampa

සරම්ප තුරන් කළ රටක් ලෙස නම් වී තිබියදී නැවත වරක් සරම්ප රෝගය පැතිර යාමට හේතුව වන්නේ මිථ්‍යා මතවල සිට දරුවන්ට සරම්ප එන්නත නිසි ලෙස ලබා නොදීම බවට පෙන්වා දිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සරම්ප තුරන් කළ රටක් වුවත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මාස 09න් හා අවුරුදු 03න් සරම්ප එන්නත ලබා දෙන බවත් එහෙත් කෝවිඩ් තත්ත්වයත් සමග කෝවිඩ් එන්නතට ප්‍රමුඛතාව ලබා දීම නිසා එදිනෙදා සිදුකරන එන්නත් ක්‍රියාවලියේ අඩුපාඩු සිදුවූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව කෝවිඩ් එන්නත් ලබා දීමත් සමග එන්නත් සම්බන්ධයෙන් බිල්ලෙක් මවා එන්නත් ලබා නොගත යුතු බවට යම් පිරිසක් විසින් මතවාදයක් සමාජය තුළ ඇති කළ බවත් සරම්ප රෝගය නැවත ඇති වීමට මෙවැනි මතවාද හේතු විය හැකි බවත් පවසා සිටියේය.



මීට අමතරව මිථ්‍යා විශ්වාස හා විවිධ ආගමික ඇදහිලි මත එන්නත් ලබා නොගත යුතු බවට යම් මතවාද පැවැති බවත් මෙවැනි කරුණු විශ්වාස කර සරම්ප එන්නත් ලබා නොදුන් පිරිසක් සිටින අතර දැනට සොයාගෙන තිබෙන ආකාරයට සරම්ප එන්නත ලබා දිය යුතු වයසේදී නිසි ලෙස එම එන්නත් ලබා නොදුන් දරුවන් හත්දහස් පන්සියයක් පමණ සමාජය තුළ සිටිය හැකි බවට අනුමාන කරන බවද සඳහන් කළේය.

හත්දහස් පන්සියයක ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් ලෙස සැලකුවත් මෙම ප්‍රමාණයට සමස්ත ජනතාවම අනතුරකට ලක් කළ හැකි බවත් එක් සරම්ප රෝගියෙකුගෙන් දහසය දෙනෙකුට රෝගය පැතිරෙන බවට සොයාගෙන තිබෙන බැවින් අතිරේක සරම්ප මාත්‍රාව ලබා දීම හා නියමිත පරිදි සරම්ප මාත්‍රාව ලබා දීම ජාතික වගකීමක් බවද කියා සිටියේය.

වයස මාස 06ත් 9ත් අතර දරුවන්ට අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් මාස 9ත් අවුරුදු 15ත් අතර වයසේ පසුවන දරුවන්ට නියමිත සරම්ප මාත්‍රා ලබා දී නොමැති නම් එම දරුවන්ටත් එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙසට ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.



දිස්ත්‍රික්ක 09ක් මූලික කර ගනිමින් අතිරේක සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීම පෙරේදා (06දා) ආරම්භ කළ බවත් මේ අනුව එදින අතිරේක සරම්ප මාත්‍රාව ලබා දීමට නොහැකි වූ දරුවන්ට මාත්‍රාව ලබා දීමට දින හතරක් තිබෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ අනුව මේ මස 13 ,20, 27 හා පෙබරවාරි 03 වන දින සෙනසුරදා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිදුකරන සායනවලදී එන්නත් මාත්‍රා ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් අතිරේක එන්නත් මාත්‍රාව ලබා දීම බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 03 තුළ හා යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතර, මහනුවර හා කල්මුණේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක තුළ අතිරේක එන්නත්කරණ කටයුතු සිදුවන බවද පවසා සිටියේය.

පසුගිය වසරේ මැයි මාසයේ සිට ගෙවී ගිය මාස පහක් හයක් තුළදී සරම්ප රෝගීන් හත්සිය පනහක් වාර්තා වී තිබෙන බවත් ඉන් 65%කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන බවත් 2019 වසර වන විට ලංකාව සරම්ප තුරන් කළ රටක් ලෙසට ප්‍රකාශයට පත් වී තිබූ බවද කියා සිටියේය.



කෝවිඩ් සැලකීමේදී එක් රෝගියෙකුගෙන් බෝවන්නේ හතරපස්දෙනෙකුට බවත් මේ අනුව සරම්ප බෝවීමේ ප්‍රතිශතය වැඩි බවද සඳහන් කළේය.

කෝවිඩ්වලට වඩා වැඩි සංකූලතා ප්‍රමාණයක් සරම්ප තුළින් ඇතිවන බවත් එමගින් පෙණහලුවලට හා මොළයට බලපෑම් සිදුවිය හැකි බවත් ඇස්වල පෙනීම අඩු වීම, මන්දපෝෂණ ඌනතා ඇති වීමට හැකි බවත් මෙම සරම්ප එන්නත් ලබා දීම 1984 සිට ආරම්භ කර තිබෙන බවද පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ