government-bribe-sabaragamuwa
රජයේ ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීමට රුපියල් 35,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් සබරගමුව පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනියට මාස 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 32000/-ක දඩයකටද ඇය යටත් කළේය.




විත්තිකරු අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ මාස 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 10කට අත්හිටුවීමට නියෝග කළේය.

රට මෙවැනි ආර්ථික අගාධයකට වැටීමට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවකයන් අල්ලස් ලෙස මුදල් ලබා ගැනීමෙන් රජයට හිමිවිය යුතු මුදල් ලබා ගැනීම නිසා යැයි පෙන්වා දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ දිස්නා ගුරුගේ මහත්මිය අනෙකුත් රාජ්‍ය සේවකයන්ටද ආදර්ශයක් වන අන්දමට විත්තිකාරියට දඬුවම් පමණුවන්නැයි කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස දඬුවම් නියම කෙරිණ.චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ සබරගමුව පළාත් සභාවේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනිය වශයෙන් කටයුතු කළ ජේ.ප්‍රියදර්ශනී නමැත්තියටය.



සබරගමුව පළාත් සභාවේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරීනිය වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජකාරී කටයුත්තක් වන රජයේ ඉඩමක වටිනාකම තක්සේරු කර ගැනීමට පැමිණි පොලිස් නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටි පැමිණිලිකරුගෙන් අදාළ රජයේ ඉඩමේ වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීම සඳහා රුපියල් 35,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා 08ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණ.

නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් චෝදනාවටට පාදකවූ මෙම සිද්ධිය පිළිබඳ තම සේවාදායිකාව දැඩි ලෙස පශ්චත්තාප වන්නේ යැයි කීය.

රජයේ රැකියාව අහිමි වීමම ඇයට හිමි වූ දඬුවමක් යැයි කී ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායිකාවට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට දඬුවම් පැමිණ වූ විනිසුරුවරයා රාජ්‍ය සේවකයන් තමන්ට හිමි නැති මුදල් ලබා ගැනීමට ගොස් වෘත්තීය අවංක භාවය අහිමි කර ගැනීමෙන් ජීවිත කාලයම පසුතැවීමට සිදුවන ආකාරයේ දඬුවම්වලට ලක් වීමට සිදුවන්නේ යැයිද පෙන්වා දුන්නේය.

 බුද්ධිමාල් රුබේරු