gully-tube-apartment-thief

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණවල ගලි බට දිගේ ගොස් නිවාසවලට ඇතුළු වී මුදල්, රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගත් අපරාධ රැසකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුගේ ප්‍රකාශ මත උණු කරන ලද ග්‍රෑම් 65යි මිලිගෑම් 418 ක් බර රන් කැබලි කීපයක්, මැණික් ගලක්, දියමන්ති ගල් 24 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.



අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇති නඩුවලට අදාළව වරෙන්තු පහක් හා මහනුවර අධිකරණයෙන් ද වරෙන්තුවක් නිකුත් කර ඇත්තකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් කොස්තාපල් 76495 ක්‍රිෂාන්ත යන නිලධාරියාට ලද තොරතුරකට අනුව සීදුව ප්‍රදේශයේ හෝටලයක් අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.



ගල්කිස්ස පොලිස්  වසමේ නිවාස සංකීර්ණයකට ඇතුළු වී රුපියල් ලක්ෂ 20 කට ආසන්න දියමන්ති අල්ලන ලද රන්මාල, මුදු හා මැණික් ගල් සොරා ගැනීම, දෙහිවල පොලිස් වසමේ අල්විස් පෙදෙසේ නිවාස සංකීර්ණයක නිවාස දෙකකින් පවුම් හයහමාරක් බර රන් භාණ්ඩ සහ රුපියල් දොළොස්දහසක මුදල් සොරා ගැනීම හා බම්බලපිටිය පොලිස් වසමේ නිවෙසකින් රුපියල් හාරදහසක මුදලක් සහ ඒ ටී.එම් කාඩ් පතක් සොරාගෙන රුපියල් 7 කට ආසන්න මුදලක් සොරා ගැනීම සැකකරු සිදු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සොරා ගත් දේපළ හෙට්ටිවීදිය, ගොතටුව සහ බොරැල්ල ප්‍රදේශවලට විකුණා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇඹිලිපිටිය නව නගරයේ පදිංචිකරුවෙකි.



බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් සහ නියෝග මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඊ.ජී. අනුර, පොලිස් සැරයන්වරුන් වන 70471 තෙන්නකෝන්, 21284 බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 76495 ක්‍රිෂාන්ත, 82111 කුමාර, 84762 කුමාර, 104881 ශාලිත, 103560 සිරි සූරිය, 20532 ප්‍රනාන්දු, කාන්තා පොලිස් කොස්තාපල් 9006 අනුෂා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ