health-strike

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වන බව වාර්තා වේ.

වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක්ව පැවති රාජකාරි හා ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා රුපියල් 35,000 කින් ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගත් අතර,

ඊට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් පසුගිය 09වැනිදා ද පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරතවිය.

මේ ගැන රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද උදෑසන 6.30 සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

 ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය වර්ජනයට සහය පළ කිරීම ප්‍රශ්න සහගත බවට ඇතැම් වෘත්තිය සමිති චෝදනා කරති.
සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ එය යම් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවයි.රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙම වැඩවර්ජනය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද පෙරවරුවේ තම වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවා සාකච්ඡා කරන බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියහ.



කෙසේ වෙතත් පසුගිය සතියේ වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුද හමුදාව සේවයට යොදවා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය කියා සිටියේ රජයේ එම ක්‍රියාමාර්ග පාර්ශ්වයන් අතර ගැටුමකට මුලපිරීමක් වූ බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන 11ට කැඳවා තිබේ.