heenatiyana-mahesh

ඩුබායි රටට පලා ගොස් සැඟ වී සිටින දිනේෂ් සිල්වා නොහොත් හීනටියන මහේෂ් නමැත්තා නමින් පෙනී සිට, මිනුවන්ගොඩ පදිංචි පුද්ගලයකුට දුරකතනයෙන් කතා කර මරණ තර්ජන කර, රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ඉල්ලා, එයින් ලක්ෂ 5ක මුදලක් ලබා ගත්තේ යැයි කියන 70 හැවිරිදි පුද්ගලයකු රහස් පොලීසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ මර්දන විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ මාබෝදල ප්‍රදේශයේදී පෙරේදා (8 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාබෝදල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් මොහු පාතාල නායකයකු ලෙස සැලකෙන හීනටියන මහේෂ් නමැත්තා නමින් පෙනී සිටිමින් මෙවැනි ආකාරයට තවත් අයගෙන් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන ඇත්දැයි සොයා ගැනීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ මර්දන විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු විමර්ශන පවත්වාගෙන යති.

මෙම පුද්ගලයා හීනටියන මහේෂ් නමැත්තා නමින් පෙනී සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලක්ෂ 15ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා, මරණ තර්ජනය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

පාතාල නායකයකු කප්පම් මුදල් ඉල්ලා සිටි නිසා බියට පත්ව, ඔහු සමග කතා කර එම මුදල ලක්ෂ පහක් දක්වා අඩු කරගෙන,

පසුව එම මුදල කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයාට ලැබීමට සලස්වා ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

ලක්ෂ පහක කප්පම් මුදලක් දුන් පුද්ගලයා පසුව මේ ගැන මිනුවන්ගොඩ පොලීසියට පැමිණිලි කර ඇත.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ මර්දන විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.

කප්පම් මුදල් ලබාගෙන ඇත්තේ ඩුබායි රටේ සැඟ වී සිටින හීනටියන මහේෂ් නමැත්තා නමින් පෙනී සිටි මාබෝදල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

විමර්ශන වලදී හෙළි වූ තොරතුරු මත එම කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මාබෝදල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙස සොයා ගොස්, ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය