husband-who-killed-wife-death-sentenced

දෙදරු මවක වූ තම බිරියට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලු කර දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා බරපතළ තුවාල සිදු කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර සැමියකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත් බද පූර්වගාමී මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණ දඬුවම  නියම වූයේ පහළමාරගහවැව තම්මන්නාව පදිංචි නොච්චියාගම හේවගේ නෙරංජන පෙරේරා නැමැත්තකුටය.2010 වසරේ ජනවාරි 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳ වන එච්. පූර්ණිමා චන්ද්‍රගුප්ත යන අයට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමි තෙල් වත්කොට ගිනි තබා බරපතළ තුවල සිදු කර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව

අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණ.

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා සඳහන් කළේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි. මෙම නීති කෘත්‍යයේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.



අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන මහතා ඇතුළු 12 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ එවකට හිටපු රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පෙනී සිටි අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මියයි. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය. නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.

 උපාලි ආනන්ද