india-boat-10-died

ඉන්දියාවේ ගුජරාට්හිදී බ‍්‍රහස්පතින්දා දිනයේ දී පාසල් විනෝද චාරිකාවක් සඳහා රැගෙන යමින් තිබූ බෝට්ටුවක් පෙරලී යාමෙන්, අවම වශයෙන් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු  දියේ ගිලී මිය යන්නට ඇතැයි වාර්ථා වෙයි.

ප්‍රාදේශීය පොලිසිය මරණ සංඛ්‍යාව බීබීසී ගුජරාටි වෙත තහවුරු කළ අතර , මුදා ගැනීමේ මෙහෙයුමක් තවමත් ක්‍රියාත්මක වන බව පැවසීය.

ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා හි හාර්නි විල මත සිදුවූ මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රාදේශීය බලධාරීන්ට අනුව බෝට්ටුවේ පුද්ගලයින් 27 දෙනෙකු පමණ සිට ඇත.

පොලිස් කොමසාරිස් අනුපම් සිං ගෙලෝට් පැවසුවේ ,

පුද්ගලයන් හත් දෙනෙකු පමණ මුදාගෙන ඇති අතර ඔවුන් ආසන්න රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එසේම බෝට්ටු සවාරියේදී විපතට පත් වූවන්ට ජීවිතාරක්ෂක ජැකට් ලබා දී නොමැති බව ද ඔහු පැවසීය.

X (ට්විටර්) හි ප්‍රකාශයක් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි  "අනතුර සම්බන්ධයෙන් තම ශෝකය " ප්‍රකාශ කළේය.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ, මියගිය අයගේ පවුල් සඳහා ප්‍රාන්ත රජය රුපියල් 400,000 ක මුදලක් සහ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා රුපියල් 50,000 මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි.

බොහෝ විට යාත්‍රාවන්ට දැරිය නොහැකි මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම,  යාත්‍රාවන්ගේ දුර්වල නඩත්තු සහ ආරක්ෂක උපකරණ නොමැති වීම යන කරුණු හේතුවෙන් ඉන්දියාවේ බෝට්ටු අනතුරු නිරන්තරයෙන් වාර්ථා වෙයි.

පසුගිය වසරේ ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්ථා විය.