insurance-policy-changes-vehicle
රියැදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරුවලින් අගතියට පත් වන පාර්ශ්වයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල, ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම්, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟ වූ බව එම කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසීය.


එසේම, සමහර බැංකු හා මූල්‍ය සමාගම් සිය ගනුදෙනුකරුවන් බලහත්කාරයෙන් ඇතැම් රක්ෂණ සමාගම්වලට යෑම අනිවාර්ය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට කමිටුව මහ බැංකුවට නියෝග කළේය.

මේ අතර, රක්ෂණ සමාගම් කොවිඩ් කාලසීමාවේදී විශාල වශයෙන් ලාභ ලබාගෙන ඇති හෙයින්, එම ප්‍රතිලාභ පාවිච්චි කර ජනතාවට සහන දෙන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව රක්ෂණ සමාගම්වලට නිර්දේශ කර ඇත.

කොව්ඩ් කාලසීමාවේදී වාහන රක්ෂණාවරණ සහ රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සියයට 80කින් පමණ අඩු වූ හෙයින්,


එම සමාගම් මෙසේ අසීමිතව ලාභ ලබාගත් බව වලේබොඩ මහතා කමිටුවේදී පෙන්වා දුන්නේය.

රක්ෂණ ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට පියවර ගන්නා ලෙසට ද සභාපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

මේ අතර, මෙරට රක්ෂණ කර්මාන්තය සාධනීය මාවතකට ගැනීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට කාරක සභාව තීරණය කළේය.

මෙම නව කමිටුවට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු සියලු ආයතන නියෝජනය වන පරිදි සාමාජිකයන් පත්කිරීමට ද තීරණය කර ඇත.

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ නීතිවල ස්ථාවරත්වය

ඇතුළු සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ කරුණු පැහැදිලි කළහ. මේ අනුව මෙම සියලු කරුණු සලකා බලා කමිටු යෝජනා අනුව ඉදිරියේදී රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සහ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ගත යුතු නෛතික සංශෝධන ඇතුළු පියවර සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව ඉදිරියේදී පෙනී සිටින බවට වලේබොඩ මහතා සහතික විය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස් විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය. මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහා බැංකුව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ජාතික රක්ෂණ භාර අරමුදල යන ආයතනවල නිලධාරීහු කැඳවනු ලැබ සිටියහ.
  සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න