italy-funeral-visa-rejection

ඉතාලියේදී සැකකටයුතු හදිසියේ මියගිය තම ස්වාමියාගේ සිරුර මාස දහයකට ආසන්න කාලයක් එරටේ මල් ශාලාවක තැන්පත් කර තිබීමෙන් එම සිරුර භාරගෙන අවසන් කටයුතු කිරීමට, තම පුතුට සහ තමාට ඉතාලියට යෑමට තානාපති කාර්යාලයෙන් මෙතෙක් තමන්ට වීසා නොදීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව මහනුවර,

මාවිල්මඩ පටුමග අංක 51/04 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන 48 වියති බී.නිරෝෂා ශාමලී මහත්මිය පැවසුවාය.

මෙලෙස සැකකටයුතු ලෙස ඉතාලියේදී මියගොස් ඇත්තේ, 51 වියති එක්දරු පියෙකු වන වීරක්කොඩි රාළලාගේ සම්පත් චන්දන වීරක්කොඩි යන යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස සේවය කළ අයෙකි.

මියගිය තම ස්වාමියාගේ සිරුර එරට මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර ඒ සඳහා තැන්පත් කුලී වශයෙන් මෙරටේ මුදලින් දිනකට රුපියල් 18,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බවද නිරෝෂා ශාමලී මහත්මිය සඳහන් කළාය.



මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය, "මගේ ස්වාමියා ඉතාලියේ කර්මාන්ත ශාලාවක සාමාන්‍ය වැටුපකට සේවය කිරීමට ගොස් සිටියදී 2023 අප්‍රේල් 21වැනිදා හදිසියේ මියගිය බවට ඔහු සේවය කළ ආයතනයෙන් මා හට දැනුම් දුන්නා. ඔහුට කිසිදු රෝගයක් නොතිබූ අතර මරණය සැකකටයුතු බැවින් එරටට ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අවසන් කටයුතු කිරීමට මෙරට බලධාරීන් අවධානය යොමු කර මා හට, එකොළොස් වියැති එකම පිරිමි දරුවාට තානාපති කාර්යාලයෙන් වීසා ලබාදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිනවා.

තානාපති කාර්යාලයේ නිලධාරීන් හිතාගෙන ඉන්නේ අපි දෙන්නා ඉතාලියේ නවතින්නම යනවා කියලා, මේ මරණය සැක නිසා ගිහිල්ලා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරලා ඒ රටේම අවසන් කටයුතු කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ, ඉතාලියේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරන් ඉන්නවට දවසකට මම රුපියල් 18,000ක් ගෙවන්න ඕනේ. එහෙම එකතු වෙලා දැන් ලක්ෂ හැටකටත් වැඩි මුදලක් මට ගෙවන්න වෙලා. ඉතින් තවත් ඒ රටේ මල්ශාලාවේ මිනිය තැන්පත් කරගෙන ඉන්නාවාට දවසකට රුපියල් 18.000 ගානේ ගෙවන්න වෙනවා.

එච්චර අපිට සල්ලි නැහැ. ඉතින් මට මහත්තයාගේ අවසන් කටයුතු කරන්න මටයි, පුතාටයි, ඉතාලියට යන්න අවසරය ලබා දෙන්න අවස්ථාව සලසා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුයි, විදේශ කටයුතු ඇමතිතුමාගෙනුයි, අදාළ බලධාරීන්ගෙනුයි ඉල්ලීමක් කරනවා” යැයිද පවසා සිටියේය.

මනම්පිටිය - නිමල් ජයරත්න