japan-earth-quake

ජපානයේ බටහිර පිහිටි ඉෂිකාවා පළාත වෙත ඊයේ (01දා) බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.6ක ප්‍රබලතාවකින් යුත් භූකම්පනය හේතුවෙන් එම වෙරළ ප්‍රදේශය වෙත රාත්‍රි කාලය පුරාම සුනාමි බලපෑම් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එහිදී 2011 සුනාමි අවස්ථාවේදී මෙන් වරින් වර සුනාමි රළ පහර ගොඩබිමට ඇතුළුවීමේ අවස්ථාවක් පවතින බවටද එරට කාලගුණවිද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

මෙහිදී ඉෂිකාවා පළාතේ ස්ථාන රැසක් ඇතුළුව යමගාටා, නිගාටා, ෆුකුයි ඇතුළු නගර රැසක් වෙතම මීටර් 03ත් 05ත් අතර  උස සුනාමි රළ පහර ඇති වීමේ අවස්ථාවක් පවතින බවට පුරෝකථන ඉදිරිපත් කෙරිණි. ඒ අතරින් ඉෂිකාවා පළාතේ වජිමා නගරය වෙත මීටර් 1.2ක් පමණ උසට මුහුදු රළ පහර වැදී තිබේ.

එහිදී ගොඩබිම වෙත මුහුදු ජලය ඇතුළු වන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි. එසේම තවත් නගර කිහිපයක් වෙතම සෙන්ටිමීටර් 50ත් - 90ත් පමණ උසට සුනාමි රළ පහර ඇති වී තිබේ. මේ සමගම මුහුදු වැලි සැලකිය යුතු ප්‍රමාණයක්ද ගොඩබිමට පැමිණීම සිදු විය.

ඒ අනුව ඉෂිකාවා ආසන්නයේ පිහිටි ප්‍රදේශ වෙත දරුණු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණු අතර, එම වෙරළ තීරය ආසන්නයේ වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබුණි. එසේම ජපානයේ හොකයිඩෝ නගරය දක්වා බටහිර වෙරළ තීරය පුරාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත උපදෙස් නිකුත් කරන්නටද බලධාරීන් පියවර ගත්තේය.

මෙම භූකම්පනය හේතුවෙන් ඉෂිකාවා පළාතේ ගොඩනැගිලි රැසක්ම කඩාවැටී තිබූ අතර, ඒවායේ සිරවූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක විය. මෙහිදී තුවාල ලැබූවන් 100කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කෙරී තිබූ අතර, ඉන් සැලකිය යුතු පිරිසකගේ තත්ත්වය බරපතල බවටද ජපාන බලධාරීන් සදහන් කළේය.

මේ අතර විදුලි රැහැන් වෙත ඇති වූ හානි වීම් නිසා නිවාස 35,000කට අධික ප්‍රමාණය කට විදුලිය සැපයීමද ඇනහිට තිබුණි. එසේම මාර්ග  රැසක්ම මේ හේතුවෙන් කැඩී ගොස් තිබූ අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන කටයුතු සදහාද බාධා පැමිණ වී තිබුණි. වරිමා නගරයේ ස්ථානයක දරුණු ගිනි ගැනීමක්ද වාර්තා විය.

භූකම්පනය අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ දර්ශන තුළ එහි ප්‍රබලතාව සටහන්ව තිබේ.

විශේෂයෙන්ම ප්‍රධාන භූකම්පනයට අමතරව කෙටි කාලයක් තුළ ප්‍රබල පසුකම්පන රැසක්ම ඉෂිකාව පළාත ආශ්‍රිතව වාරිතා විය. මෙම කම්පන හේතුවෙන් දුම්රිය ස්ථාන තුළ ඇති ඩිජිටල් නාම පුවරු යනාදිය කම්පනයට ලක්ව විනාශවී යන ආකාරයද දැකගත හැකිය. මේ අතර ඉෂිකාවා පළාතේ සියලු දුම්රිය ගමන්, ගුවන් ගමන් සහ අධිවේගී මාර්ග ගමනාගමනයද අවලංගු කෙරිණි.

එසේම භූකම්පනයත් සමගින් ඉෂිකාවා පළාතේ පිහිටි ෂිකා න්‍යෂ්ටික බලාගාරය පිළීබද අවදානමක් ඇති වූ අතර, බලධාරින් ඒ පිළිබද නිරන්තර අවධානයෙන් පසුවිය. ඒ අනුව එය ආරක්ෂිතව පවතින බවට පසුව නිවේදනය කෙරිණි. මෙම සුනාමි බලපෑම අසල්වැසි දකුණූ කොරියානු වෙරළට බලපෑවේය.