විදේශ අමාත්‍යවරියගේ පෙනුම සහ වයස පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් , ජපානයේ හිටපු අගමැතිවරයෙකු සහ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන අසෝ මහතාට චෝදනා එල්ල වී තිබේ.

නුසුදුසු ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  දිගු ඉතිහාසයක් ඇති ටාරෝ අසෝ විසින් මෑත කාලයේ දී පැවති දේශනයකදී යෝකෝ කමිකාවා සම්බන්ධ අපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

83 හැවිරිදි අසෝ මහතා විසින් 70 හැවිරිදි කමිකාවා මහත්මියව ඔබාසන් ලෙසද හඳුන්වා ඇත.  ජපානය තුළ මැදිවියේ කාන්තාවන්ව අවමන් සහගත ලෙස විස්තර කිරීම සදහා ඔබාසන් යන වචනය බහුලව භාවිතා කරයි.



එපමණක්ද නොව අසෝ මහතා කමිකාවා මහත්මියගේ වාසගම 'කමිමුරා' ලෙස වැරදි ආකාරයෙන් පවසා ඇති අතර,  ඇය ජපානයේ පළමු කාන්තා විදේශ ඇමතිනිය ලෙසද අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත. සත්‍යනම් එරට දේශපාලන ඉතිහාසයේ 2000 ගණන්වල මුල් භාගයේ දී Junichiro Koizumi පරිපාලනය තුළ පත් කරන ලද Makiko Tanaka සහ Yoriko Kawaguchi ට පසුව තුන්වැන්නා ලෙස කමිකාවා මහත්මිය වැඩ භාරගෙන තිබීමයි.

පසුගිය වසරේ සැප්තැම්බරයේ දී ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩාගේ කැබිනට් මණ්ඩලයට පත් කළ කාන්තාවන් පස් දෙනාගෙන් කෙනෙකු වන  කමිකාවා මහත්මිය , අසෝගේ චෝදනා ප්‍රතික්ෂේප කළාය.

ඇය මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ, තමා ජපානයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වැඩ කටයුතු කරගෙන යාම අසෝට ලබාදෙන වඩාත්ම සුදුසු ප්‍රතිචාරය වන බවයි.

2009 දී පක්ෂය බලයෙන් ඉවත් වීමට පෙර වසරක් වැනි අවම කාලයක් තුළ අගමැති ලෙස සේවය කළ අසෝ මහතා, ඉන් පසු   LDP පරිපාලනයේ ඉහළ තනතුරු දැරූ අතර , එහිදී ඔහුට විරුද්ධ දේශපාලනඥයන්ගෙන් විවේචන එල්ල විය .



ජපාන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අකිරා කොයිකේ පැවසුවේ, අසෝගේ මෙම ප්‍රකාශය ඉතා පහත් මට්ටමේ ක්‍රියාවක් වන බවයි. මේ සම්බන්දව අදහස් දැක් වු ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අසෝට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කර සිටියේය.

ප්‍රකෝටිපතියෙකු බවට සැලකෙන අසෝ මහතා , විලාසිතා සම්බන්දව සහ සමස්ත ජන කණ්ඩායම් පිළිබඳ වැරදි අදහස් ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් ප්‍රසිද්ධයක් උසුළයි . ඔහු 2018 වසරේ දී  මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලය තුලදී , ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරියෙකු විසින් රූපවාහිනී වාර්තාකාරිනියකට ලිංගික හිරිහැර කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට පිළිතුරු දෙමින් අසෝ මහතා පැවසුවේ,  “ලිංගික හිංසනය අපරාධයක් නොවන ” බවයි.

ඔහු විසින් මීට පෙරද වැඩිහිටියන්ට , නිල් ඇස් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයින්ට , ඇල්සයිමර් රෝගීන්ට සහ දරුවන් හැදීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන්ට අපහාස කර ඇත.

කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳ ජාත්‍යන්තර සංසන්දනය කිරීමේදී ,  කාන්තාවන් කෙරෙහි නරක ලෙස ක්‍රියා කරන රටවල් 190 අතරින් ජපානය165 වැනි ස්ථානයට පත්ව ඇත.



ලිංගිකත්වය පිළිබඳ ප්‍රකාශ කරන එකම ජ්‍යෙෂ්ඨ ජපන් දේශපාලනඥයා අසෝ මහතා පමනක් නොවේ. පසුගිය වසරේ කමිකාවා සහ ඇයගේ කාන්තා සගයන් තම කැබිනට් මණ්ඩලයට පත් කර ගැනීමෙන් පසු අගමැති කිෂිඩා පැවසුවේ , මෙම කාන්තාවන් "කාන්තාවන්ටම අනන්‍ය වූ සංවේදීතාව සහ සංවේදනය ප්‍රදර්ශනය කරනු ඇතැයි" තමන් බලාපොරොත්තු වන බවයි.