kahatuduwa-incident

අනියම් බිරිද සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් නිවසකට ගිනි තබා අලාභ හානි කර පලාගොස් සැඟව සිටි පුද්ගලයකු මාස තුනකට පසුව කේරළ ගංජා ග්‍රෑම් දෙකක් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පළමු විවාහයෙන් දික්කසාද වී නඩත්තු නොගෙවීමේ චෝදනාව යටතේ කඩුවෙල අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබූවකු බවද පොලිසිය කියයි.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකි.

මෙම පුද්ගලයා හෝමාගම පිටකොටුව (138) පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් නිවසේ වාසය කර ඇතැයි පැවසේ.

ඒ අතරතුරදී දිනක් දික්කසාද වූ බිරිඳ එම නිවසට පැමිණ නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සිට අනියම් බිරිය මෙම පුද්ගලයා සමග විටින් විට ගැටුම් ඇතිකරගෙන තිබේ.



එය ඉවසාගත නොහැකිව දිනක් කාන්තාව නිවසින් පිටමන් කර නිවසේ සාලය මැද තිබූ පුටු සෙටිය මතට නිවසේ තිබූ රෙදි ගෙනැවිත් දමා ඒ මතට පෙට්‍රල් දමා මෙසේ ගිනි තබා පලා ගොස් තිබූ බවත් ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබූ බවත් පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකළද සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටියදී විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් (50228) සමන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් දෙකක් පොලිස් බාරයට ගෙන තිබේ.



අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන කිරීමේ දී සැකකරුගේ පළමු විවාහයේ බිරිඳට නඩත්තු නොගෙවීම නිසා කඩුවෙල අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් වූ අයෙකු බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.
   මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න