kahawatte-murder-update

වසර ගණනාවකට පසු කහවත්තෙන් අබිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවක ගැන අසන්නට ලැබුණේ දෙසැම්බර් 13 වැනිදා ය. ඒ කහවත්ත වැල්ලඳුර, වෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි තිදරු මවක ඝාතනය කිරීමේ සිදුවීමය.
 
මෙලෙස මියගොස් තිබුණේ විනිතා ජයසුන්දර නමැති කාන්තාවකි. ඇය සිය බාල දියණිය සමග නිවසේ ජීවත්ව සිට තිබිණි. මාධ්‍යවේදී ජානක සුනෙත් බණ්ඩාරගේ ද මව වන ඇය හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ජයසුන්දර බණ්ඩාරගේ සහෝදරියයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කහවත්ත පොලිසිය සති දෙකක කාලයකදී ඝාතනයේ සුලමුල සොයාගෙන ඝාතකයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ කාන්තාවගේ බාල දියණියද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඇය මෙම ඝාතනය සිදු නොකළ බව පවසා තිබුණද පොලිස් නිලධාරිහු විවිධ පැතිකඩ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කළහ.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ ජංගම දුරකතනය ඇසුරින් සිදු කළ විමර්ශනවලදී ඇය විසින් ඇමතුම් ලබාගත් දුරකතන අංක දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඉන් එක් අංකයක් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අයකුගේ බව තහවුරු විය. නිවසේ ටයිල් ඇතිරීමට හා වඩු වැඩ සඳහා පැමිණ ඇත්තේ ද එම පුද්ගලයාය.



ඒ අනුව අදාළ වඩු කාර්මික ශිල්පියා ද කහවත්ත පොලිසිය භාරයට ​ගෙන ප්‍රශ්න කර තිබේ. ඔහු කහවත්ත, පලන්සූරියගම, ගමගේවත්ත ප්‍රදේශයේ පදිංචි තලගහ ආරච්චිලාගේ සංජීව විජේරත්න නමැති 55 හැවිරිදි පස් දරු පියෙකි. ‘දොලේ බාස්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු මෙම නිවසට නිතර ආව ගිය නිවැසියන් සමග සමීපව ගනුදෙනු කළ අයෙකි. තවද ඔහු හමුදාවෙන් පලාවිත් පෙදරේරුවකු ලෙස රැකියාව කළ අයකු බවද අනාවරණය වී ඇත.

‘මියගිය විනිතා ජයසුන්දර විසින් ‘දොලේ බාස්’ නමැත්තාගේ දුරකතනයට ඝාතනය සිදුවූ දින පෙරවරු 11.16ට දුරකතන ඇමතුමක් ලබාදී ඇතැයි පරිවේශනිය සාක්ෂි මගින් හෙළිවි ති​බේ.

මියගිය තැනැත්තියගේ හිතවතකු ද වූ ඔහු පසුගිය ජූනි මාසයේ දිනක ද මෙම නිවසේ අලුත්වැඩියාවකට පැමිණ තිබේ. එම දිනවලදීම ඇයගේ රන් මාලයක් හා වළලු දෙකක් සොරකම් කර ඇතැයි පැවසේ.

දින කිහිපයකට පසු එය ‘දොලේ බාස්’ විසින් කළ හොරකමක් බව දැනගෙන ඒවා යළි ගෙනත් නොදුන්නොත්පොලිසියට දැනුම්දෙන බව වීනිතා පවසා තිබේ.

අනතුරුව වරද පිළිගත් දොලේ බාස් නමැත්තා ආර්ථික දුෂ්කරතාව නිසා මෙම සොරකම කළ බව පිළිගෙන, අදාළ රන් භාණ්ඩ හෝ එහි වටිනාකමට සරිලන රුපියල් ලක්ෂ තුනක මුදල ලබාදෙන බවට විනීතාට පොරොන්දු වී ඇතත් ඔහු විනීතාගේ දුරකතනයට ප්‍රතිචාර නොදක්වා දිගින් දිගටම ඇය මගහැර තිබේ.

මෙවන් තත්ත්වයක් තිබියදී විනීතා පසුගිය 08 වැනිදා එනම්, ඝාතනය වීමට දින පහකට පෙර දොලේ නමැත්තාගේ නිවසට ගොස් තම රන් භාණ්ඩ හෝ පොරොන්දු වූ මුදල ලබා නොදෙන්නේ නම් පොලිසියට යන බව පවසා ඇත. එහිදී දින කිහිපයකින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන බවට තමා පොරොන්දු වූ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදි දොලේ නමැත්තා පවසා තිබේ.



පසුගිය 13 වැනිදා උදෑසන සිට විනිතා විසින් දොලේ නමැත්තාට දුරකතන ඇමතුම් නවයක්ම ගෙන ඇති මුත් ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ එක් ඇමතුමකට පමණක් බව දුරකතන ඇමතුම් වාර්තා මගින් හෙළිව ඇතැයි කහවත්ත පොලිසිය සඳහන් කළේය.

එලෙස ප්‍රතිචාර දක්වන ලද ඇමතුමේදී ද විනීතා විසින් දොලේ නමැත්තාට බැණ වැදී ඇතැයි ද එදිනම මුදල් නොදෙන්නේ නම් පොලිසියට යන බව ද පවසා ඇත. පසුව දොලේ නමැත්තා විනීතාගේ දියණිය ද නිවසේ නොමැති අවස්ථාවක මෙම නිවසට පැමිණ තිබේ.

එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් දොලේ නමැත්තා විසින් විනීතා තල්ලු කර ඇත. එහිදී ඇයගේ හිස බිත්තියේ වැදී බිම ඇද වැටී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය විසින් මේ බව පොලිසියට පවසනු ඇතැයි බියෙන් ගෙල කපා දමා ඝාතනය කළ බව සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පැවසූවේයැයි පොලිසිය සඳහන් කළේය.

අනතුරුව කහවත්ත පොලිසිය විසින් දොලේ බාස් නමැත්තා විනීතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතර, ඊට පෙර අත්අඩංගුවට ගත් විනීතා ජයසුන්දරගේ දියණියගේ කිසිදු සම්බන්ධයක් ඊට නැතැයි ද තහවුරු කර ගෙන තිබේ.

සැකකරුගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සිදු කිරීමෙන් පසු මළ සිරුර නිවසේ පිටුපසින් ඉවතට ඇද දමා එම ස්ථානයෙන් පලාගිය බව අනාවරණය වී ඇත.

නිවෙස පිටුපස පිහිටි කැලෑ පාරකින් පැනගොස් ඇති සැකකරු කහවත්ත හා වැල්ලදුර ප්‍රදේශවල සැරිසරා පස්වරු 02.30ට යළි එම නිවසට පැමිණ ඝාතනය සිදුවූ ස්ථානයේ තැවරුණු ලේ ජලයෙන් සෝදා එම ස්ථානයට ටකරමක් ද දමා නිවසට ඉණිමගක් සවිකර ඉන් පලාගොස් ඇතැයි විමර්ශනවලදී හෙළිව තිබේ.

තමා එදින බාහිර සමාජයේ සැරිසැරූ බව පෙන්වීමට එලෙස සැකකරු උත්සහා දරා ඇත. ඝාතනයට ලක්වූ කාන්තාව සමීපයට ටකරමක් ඇද දමා ඇත්තේ වහලයට එය සවිකිරීම සඳහා ඉණිමගට නැගීමට උත්සාහා කිරීමේදී ටකරමක් ඇඟට වැටී ඉන් ගෙල කැපී ඇති බව පෙන්වීමට බවද පොලිසිය සඳහන් කළේය.

මෙම ක්‍රියාවෙන් පසුද එම ස්ථානයෙන් පැනගිය සැකකරු ප්‍රදේශයේ තැනින් තැන සැරිසරමින් සිට ඇති බවත් විනීතාගේ මරණය ගැන හිතවතකු පවසා ඇතත් ඔහු එම ස්ථානයට ගොස් නැති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ. විමතියට කරුණ වන්නේ ඔහු පසුදින කිසිවක් නොදත් අයකු සේ අවමංල්‍යයට සහභාගි වී දේහයටද අවසන් ගෞරව ද පුදකර තිබීමය.



ඝාතනයේ සුලමුල සොයාගැනීමෙන් පසු සොරාගත් රන් භාණ්ඩ කොහේදැයි කහවත්ත පොලිසිය සැකකරුගෙන් විමසා තිබේ. එම රන් ආභරණ ජූනි 06 වැනිදා කහවත්ත නගරයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කළ බවත් පසුව ඒවා සින්න වීමට නියමිත රන් භාණ්ඩ මිලදි ගන්නා ව්‍යාපාරිකයකුට හරවා දී ඔහුගෙන් රුපියල් පනස් දහසක් ලබාගත් බවත් සැකකරු පාපොච්ඡාරණය කර ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත ඝාතනයට යොදා ගත් පිහිය ද ප්‍රදේශයේ ළඳු කැලෑවක ගලක් යට සඟවා තිබියදී සොයාගෙන තිබේ.

ඊට අමතරව කහවත්ත පොලිසිය විසින් මියගිය අයගේ නිවසේ පිටුපස දොර අසල සටහන්ව තිබූ ලේ තැවරුණු අත් සලකුණක් ද ඇඟිලි සලකුණු වාර්තා සඳහා කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යොමුකර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (01 වැනිදා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

තවද මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මියගිය අයගේ බාල දියණිය වන මේනකා එදිරිසිංහ නමැත්තිය නිදොස් කොට නිදහස් කරන ලෙසද කහවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන රැල්ලේදී මෙන් සමාජයේ කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සහ එම තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඇය පොලිස් භාරයට ගත්තා මිස ඇය සැකපිට අත්අඩංගුවට නොගත් බව පොලිසිය පැවසීය.

පොලිසියේ කරුණු දැක්වීම සලකා බැලූ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා පළමු සැකකාරිය ලෙස අත්අඩංගුවට ගත් මේනකා එදිරිසිංහ නමැත්තිය නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ අධීක්ෂණය යටතේ කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත්ත කරුණාරත්න, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කරුණාතිලක ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ‍.


එෆ්. අස්ලම් ඉන්දික වික්‍රමාරච්චි - රක්වාන