kalawana-power-station

කලවාන හපුගොඩ ප්‍රදේශයේ යෝජිත ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට රජයේ නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් එක්ව පැවැති සාකච්ඡාව මහ සඟරුවන හා ගම්මුන්ගේ විරෝධතා හමුවේ එකඟතාවකින් තොරව අවසන් කිරීමට එම නිලධාරීන්ට සිදු විය.

කලවාන ප්‍රාදේශීය ලේකම් ආර්. එස්.ඩී. චමිල කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් හපුගොඩ අඹගහකන්ද ප්‍රජා ශාලාවේදී ඉකුත් (17දා) මෙම සාකච්ඡාව පැවැත්විණි.

එම අවස්ථාවට කලවාන ප්‍රදේශීය ලේකම් කාර්යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන්, සේවා යෝජකයන් පැමිණ සිටි අතර ප්‍රදේශය නියෝජනය කරමින් මහ සංඝරත්නය, පරිසර සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසීහු සහභාගි වී සිටියහ.



ආයතන නිලධාරීන් ප්‍රදේශවාසීන් දැනුවත් කරමින් එහිදී ප්‍රකාශ කළේ නාය යාමේ අවදානමකට පත්වී ඇති ස්ථානය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කර විදුලි බලාගාරය ඉදිකිරීමට සේවා දායකයාට ලබා දෙන්නේ නම් තමන්ගේ කොන්දේසිවලට යටත්ව එය සිදුකිරීමට එම ආයතනයට සිදුවෙන බවයි.

එහිදී එයට දැඩි විරෝධතාවක් පලකරමින් පනාපොල විජයාරාම විහාරාධිපති ගඟලගමුවේ ඥානරත්න හිමියන් පැවැසුවේ මෙයට දශක දෙකකට පමණ පෙර හපුගොඩ ප්‍රදේශයේ නාය යාමෙන් පස්යට මිහිදන් වූවන්ගේ මළසිරුරු එකොළහක් තම දෑතින් ගොඩගත් බවයි. එවන් භයානක ඉතිහාසයක් උරුමකරගෙන ඇති ප්‍රදේශයක විදුලි බලාගාරයක් ඉදිකිරීමට තරයේ විරෝධය දක්වන බවත්ය.

එවැනි ප්‍රදේශයක ජල විදුලි බලාගාරයක් ඉදිකර තිබියදී තවත් එවැන්නක් ඉදිකර ජනතාවගේ ජීවිත අවදානමකට පත් කිරීමට රජයේ නිලධාරීන් කටයුතු කිරීම පිලිකුල් සහගත ක්‍රියාවක් බවත් එම ප්‍රදේශයේ පවුල් ගණනාවක් අවදානම හේතුවෙන් ඉවත්කර ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

ගම්වාසීන් වැඩිදුරටත් පැවැසුවේ දැනට ඒ ආසන්නයේ විදුලි බලාගාරයක් ක්‍රියාත්මක බවත් එම සේවකයන්ට දැඩි වර්ෂාව පවතින දිනවලදී එම ස්ථානයේ ක්ෂණිකව පිටවන ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇති පසුබිමක තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට සාකච්ඡා පැවැත්වීම පුදුමසහගත බවයි. එම නිසා වහා එම අදහස අත්හැර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩසලසා දෙන ලෙස ඉල්ලා සිටියහ.



එයට ප්‍රතිචාර දක්වමින් ජාතික ගොඩැනැගිලි පර්යේෂණ ආයතන පැවැසුවේ තම ආයතනයෙන් ඉදිකිරීම් ආයතනය ඉල්ලා සිටි තොරතුරක් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරීම නියමිත බවත් එම තීරණය ලබා දීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇති නමුත් තාම එය ලබාදී නොමැති බවත් නාය ගිය බොහෝ ස්ථාන නැවැත ආරක්ෂිත ස්ථාන බවට පත් කර ඇති බවකි.

එයටද ගම නියෝජනය කරන පිරිස සිය විරෝධය පළ කර සිටියහ. දිගින් දිගටම පැවැති විරෝධතාව හේතුවෙන් සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් කිරීමට නිලධාරීන්ට සිදු විය.

 කසුන් දර්ශන