kalu-river-family-death
“මට අමතක නොවන උපන් දින තෑග්ගක් දීලා දරුවෝ තුන්දෙනාම කළු ගඟේ ගහගෙන ගියා” යැයි කළු ගඟේ ගිලී මියගිය යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) ගේ මව වන වලිමුණි කෝකිලා ජයන්ති සිල්වා මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.


කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළපුවේ පෙරේදා (14) පස්වරුවේ දිය නෑමට ගොස් සිටිය දී දියේ ගිලී තෙන්නකෝන් ආරච්චිලාගේ තිවිදු සත්සර (18) මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) සහ යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) යන සිසු සිසුවියෝ තිදෙනා මිය ගියහ.

මියගොස් සිටි තිදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා ඉදිරියේ දී ඊයේ (15) සිදු කෙරිණි.

හදිසි මරණ පරීක්ෂක ඉදිරියේ සාක්ෂි දෙමින් ඇය මෙසේ ද පැවැසීය.

මියගොස් ඇත්තේ මගේ තුන්වැනි දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා.


එයා කසාද බඳින්න ඉන්න පුතා එක්ක යාළුවන් පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා. මුහුදේ නාලා ආයෙමත් ගඟට නාන්න ගියා.

මගේ දුවයි එයාගෙ අත් අල්ලගෙන හිටපු සුභානී දුවයි ගඟේ ගහගෙන ගියා. එයාලා බේරගන්න තිවිදු පුතා පැන්නා. තුන් දෙනාම නොපෙනී ගියා. එතැන හිටපු තරුණ ළමයෙක් ගඟට පැනලා පුතා ගොඩට ගත්තා. පැය භාගයක් විතර වාහනයක් නැතිව හිටියා. වාහනයක් තිබුණා නම් පුතා බේරගන්න තිබුණා යැයි පැවැසුවාය.

දියේ ගිලී මියගිය මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) යන සිසුවියගේ මව වන පතිරණ මුදියාන්සේලාගේ ටෙක්ලා නෙරංජනී යන අය සාක්කි දෙමින් මෙසේ පැවැසුවාය.

මිය ගොස් ඇත්තේ මගේ දෙවැනි දුව. මම මේ ගමන යන්න එපා කිව්වාම එයා මා එක්ක රණ්ඩු කළා. මම ණය වගයක් බේරන්න කඩේට ගිය වෙලාවේ ලොකු දුවත් එක්ක හොරෙන් ගිහින්. මගේ දරුවත් කළු ගඟේ ගහගෙන ගිහින් කීවාම බස් එකේ යන්න වත් මා ළඟ සල්ලි තිබුණේ නෑ.

අල්ලපු ගේක ළමයෙක් ගේ බයික් එකකින් නාගොඩ රෝහලට ආවාම දැන ගත්තේ මගේ පණ නැතිවෙලා කියලා.

මියගිය සුභානි සුපේසලා ගේ වැඩිමහල් සොයුරිය වන කොටියාවත්තගේ හිරුණි වත්සලා මෙසේ සාක්කි දුන්නාය.

අපි කළු ගගේ එකට නෑවා. මම ගොඩට ඇවිත් බලද්දී නංගි හිටියේ නෑ. එයා අත් අල්ලගෙන හිටපු අනිත් යාළුවා එක්ක ගහගෙන යනවා දැක්කා. අපි බේර දෙන්න කියා කෑ ගැහුවා. බෝට්ටුවකින් ආපු මාමලා නංගිවයි ඉමංගිවයි ගොඩට ගෙනාවා. කළුතර රෝහලට ගෙනාවට පස්සේ නංගි මිය ගිහින් කියලා දැනගත්තා.

තෙන්නකෝන් ආරච්ගේ තිවිදුසත්සරගේ සීයා වන ගුලවිට ගනිතගේ ගුණපාල (73) සාක්කි දෙමින් මෙසේ පැවැසීය.

මියගොස් ඇත්තේ මගේ මුනුබුරා. එයාගේ අම්මා එයාට අවුරුද්දක් වෙද්දී පිළිකාවකින් මිය ගියා. අවුරුදු 17 ක් මම පුතා හදා ගත්තේ. පුතා ආච්චිට කියලා තිබුණා. උපන් දිනේකට කේක් කපන්න යනවා කියලා. සවස කෝල් එකක් ආවා පුතාට අසනීපයි නාගොඩ රෝහලට එන්න කියලා. ආවම දැන ගත්තේ කළු ගඟේ ගිලිලා මිය ගිහින් කියලා.

කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධ රත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.



පොලිස් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) සාක්කි මෙහෙය වීය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ. වෙනුරජිත් සහ එම්.කේ. චානුක යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණ බවට නිගමනය කළහ.

පානදුර සුමිත් පොතුපිටිය සහ කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි