kandakadu-incident
කන්දකාඩු කඳවුරෙන් පැනගිය රැදවියෙක් වතුර පමණක් පානය කරමින් දින දෙකක් වන සතුන් ගැවසෙන කැලෑවේ සැඟවී සිටියදී පුලස්තිගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගනු ලැබීය.  ඔහු යාපනය කෝපායි පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් තරුණයා තවත් රැඳවියන් දෙදෙනකු සමග පැමිණි බවත්, තිදෙනාම මහවැලි ගඟ ළඟට පැමිණි අවස්ථාවේ ජල පහර වැඩි නිසා දෙදෙනකු ඔහුගෙන් ඉවත් වී ගිය බවත් රැඳවියා පොලිස් නිලධාරීන්ට පවසා ඇත.




යාළුවන් දෙදෙනා පිටව ගිය පසු ඔහු මහවැලි ගඟෙන් මෙගොඩට පැමිණි බවත්, බඩගින්නට වතුර බිබී කැලෑවේ සිට යාපනය කෝපායි බලා යෑමට බස් රථයකට ගොඩවීමට පාරට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට අසුවුණු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.පොලිස් නිලධාරීන් රැඳවියාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, කඳවුරේ සිටින රැඳවියන්ගෙන් අලුතින් කඳවුරට එන අයට නිතර නිතරම කරදර හිරිහැර සිදුවන නිසා කඳවුරෙන් පැනගිය බවයි.රැඳවියා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 සරත් නිශ්ශංක වෙලගෙදර