kandy-abuser-prisoned

තමාගේම බාල සහෝදරයාගේ දස හැවිරිදි දියණිය අවස්ථා තුනක දී බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා තුනක් ලබා සිටි විත්තිකාර මහප්පා කෙනෙකු එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනෙවිය

ඔහුට වසර පනහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය.ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද, දෙවැනි චෝනාවටද වසර විස්සක් සහ තුන් වැනි චෝදනාවට වසර දහයක්ද බැගින් මෙම වසර පනහක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය මෙම පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බවටද තවදුටරත් නියෝග කළාය.



ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර  දඬුවමක්ද නියම කළාය.චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් පහළොස් දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කෙරිණ. එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකටද යටත් කෙරිණ. මෙසේ දඬුවම් නියම වූයේ මහනුවර මහමුල්ගම පදිංචි අයෙකුටය. මෙම විත්තිකරු අවස්ථා දෙකක් සිය සහෝදරයාගේම දස හැරිදි දියණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවත්, තුන්වැනි අවස්ථාවේදී එම දියණියට බරපතළ අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත් නීතිපතිවරයා විත්තිකරුට භාර දී ඇති අධි චෝදනා පත්‍රයේ සදහන්ය.



2018 වසරේ ජනවාරි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් මහමුල්ගමදී විත්තිකරු සිය බාල සහෝදරයාගේ දස හැවිරිදි දියණිය අපයෝජනය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (අ) (3) සහ 365 අ (2) (ආ) වගන්ති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම විත්තිකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ. මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු දරිශිකා විමලසිරි මෙනෙවිය පැවසුවේ විත්තිකරු තමාගේම සහෝදරයාගේ දස හැවිරිදි දියණිය බරපතළ ලෙස අවස්ථා දෙකක් අපයෝජනය කර ඇති බවටත්, එක් අවස්ථාවකදී එම දස හැවිරිදි දියණියට බරපතළ අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවටත් පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

ඒ අනුව තමා විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන බවද විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළාය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික නීති කෘත්‍ය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කෙරුණු අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා භාර දීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කර තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙනෙවිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ ජගත් පීරිස් මහතා පෙනී සිටියේය. මහනුවර ගලහ පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල්වත්ත මහතාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ.

 උපාලි ආනන්ද