පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත සපා කෑම හේතුවෙන් තුවාල සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුගේ වම් අතේ ඇඟිල්ලකට මැහුම් හතරක් දමා තිබෙන බව පොලිසිය පවසයි.
සිද්ධිය මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුමේදී පසුගිය 09 වැනි දින සිදුව ඇත.
බස් රථ දෙක ගමන් ගන්නා වේලාවන් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසුව ඇති වූ ගැටුමක් අතරතුර පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා ලංගම බස් රථ කොන්දොස්තරවරයාගේ අත සපා කා තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
ලංගම බස් රථය මහනුවර සිට වටදෙණිය දක්වාත් පෞද්ගලික බස් රථය මහනුවර සිට පිළිමතලාව දක්වාත් ධාවනය කෙරෙන බවත් මෙම බස් රථ දෙක පෙරවරු 8.50ට පමණ ඔරලෝසු කණුව අසල බස් නැවතුමට පැමිණි අවස්ථාවේ දෙපිරිස අතර ගැටුම ඇතිව තිබෙන බවත් වාර්තා වේ.
ලංගම බස් රථයේ කොන්දොස්තරගේ හා රියැදුරුගේ පහරකෑමට ලක්වූ බව කියන පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයාද මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබයි.
ලංගම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර නොනවත්වා තමන්ට පහර දීමේදී කොන්දොස්තරවරයාගේ අතේ ඇඟිල්ලක් තමන්ගේ මුඛය තුළට පැමිණි බවත් එම අවස්ථාවේ ඇඟිල්ල සපා කෑ බවත් පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ
0 Comments