crishantha-perera-issue

කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (22) නියෝග කළේය.



කරාපිටිය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටි වෛද්‍යවරයා හෙදියන් දෙදෙනකුද වෛද්‍යවරයකුද සමග ගිලන් රියකින් අධිකරණය වෙත පැමිණියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සමථ වීමට කැමති බවය.

ඒ අනුව රාජකාරියට බාධා කිරීමේ චෝදනාව හැර අනෙක් චෝදනා සමථ මණ්ඩලයට යොමු කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වෛද්‍යවරයාට ඇප නියම කරමින් මින් පසු වෘත්තිය සමිති අයිතිවාසිකම් යටතේ සිදුකරන ක්‍රියාකාරකම්වලට බලපෑම් නොකරන ලෙසට ද අවවාද කළේය.

වර්ජනය කිරීම වෘත්තිය අයිතිවාසිකමක් බවත් එය වෛද්‍යවරුන්ට මෙන්ම සුළු සේවකයන්ට ද අයිති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

ඉකුත් 16 වන දින පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් වැඩි වර්ජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇත.



සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 18 වන දින පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහලේ අධ්‍යක්‍ෂවරයාට පැමිණිලිකර තිබුණත් ඔවුන් වර්ජනයට එක්ව සිට ඇති බවය.

පසුදින සේවයට වාර්තා කිරීමට පැමිණි සේවකයන්ට අත්සන් කිරීමට ඉඩ නොදීම නිසා වෛද්‍යවරයා සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර පසුව සේවකයන් රෝහල් අධ්‍යක්‍ෂවරයා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයාද එම ස්ථානයට පැමිණීමත් සමග යළිත් ආරවුලක් සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියේය.

මේ අතර 17 වැනි දින සවස වෛද්‍යවරයා පැමිණ මෝටර් රථයෙන් බැස රෝගියෙකු ගෙන යමින් සිටි සේවිකාවකටත් තවත් සේවකයෙකුටත් අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදී ඇති අතර එහිදී පහර කෑමට ලක්වූ සේවිකාව ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත්ව ඇති අතර සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා ද හෘදයාබාධයක් සෑදී රෝහලට ඇතුළත්ව ඇත.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්.එස්. ජයවීර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක විදුර මහතා පැමිණිල්ල මෙහෙයවන ලද අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ තුසිත් පලිවත්ත මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ අනුජ පේමරත්න, ප්‍රසිත වල්ගම ප්‍රදීප් මදනායක මහතා ඇතුළු නීතිඥවරු පිරිසක්ද රෝගීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර මහතා ද පෙනී සිටියේය.



කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ  සේවකයන් දෙදෙනා සහ සේවිකාව අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (22 වැනිදා) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ, අනෝමා නිලන්ති සුබසිංහ, සුජිවන් විජේසිංහ සහ ප්‍රදිල් ලාල් ජාගොඩ යන තිදෙනාය.මෙම සැකකාරිය සහ සැකකරු පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ 29 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර, එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළ නීතිඥවරු තම සේවාදායකයන් සහ පැමිණිලිකාර වෛද්‍යවරයා එකම ආයතනයක සේවය කරන බැවින්, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් අනවශ්‍ය හෙයින්, ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියහ.

ඉකුත් 16 වැනිදා පැවැති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට ප්‍රකාශ කර තිබුණත්, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ කනිෂ්ඨ සේවකයන් වර්ජනයට සහභාගි වීම සම්බන්ධයෙන් පසු දින වෛද්‍යවරයා සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඇති වූ ආරවුලකදී කනිෂ්ඨ සේවකයන් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබූ පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගැනිණි.

සැකකරුවන්ට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, චෝදනා සමථ මණ්ඩලයට යොමු කරන බවයි.සමථ මණ්ඩලයට යොමු කිරීමට නොහැකි චෝදනා අධිකරණයේ විභාගයට ගන්නා බව ද ඔහු කීය. ගාල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක විදුර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඩී.ජී. සුගතපාල