kavindu-thathsara-death-abudabi
අබුඩාබිහි අවන්හලක සේවය කළ බද්දේගම ගෝනපිනුවල ශ්‍රී ලාංකික තරුණයකු වූ කවිදු සත්සරගේ හදිසි මරණය අබිරහසක් බව ඔහුගේ ඥාතීහු කියති.

දැනට වසර එකහමාරකට පමණ පෙර අබුඩාබිහි අවන්හලක සූපවේදියකු ලෙස රැකියාව කරමින් සිටි බවද ඔවුහු කීහ.



මෙසේ සේවය කරමින් සිටි සිය ඥාති සොහොයුරා වන විසිහතර හැවිරිදි කවිදු සත්සර හදිසියේම මිය ගිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවද ඥාතීහු කීහ.



ඔහු සිය මව වන මංජුලා ජයමාලි සමග අවසන් වරට ජංගම දුරකතනය ඔස්සේ කතා කොට ඇත්තේ ජනවාරි 6 වැනිදා බව ද එදා සිට අද දක්වාම ඔහු ඒ රටේ භාවිතා කළ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව පවතින බවද ඔවුහු කියති.

ඔහුගේ ජංගම දුරකතනයත් ක්‍රියා විරහිත බැවින් හා ඔහු ගැන කිසිම තොරතුරක් නොමැති හෙයින් ඔහු වැඩ කළ රටේ ඔහුගේ මිතුරකුගෙන් ඔහු ගැන සොයා බැලූවිට මිතුරා කීවේ කවිදු අසනීපයෙන් පෙළෙන බව යැයි ද ඔවුහු පවසති.



ජනවාරි 15 වැනිදා කවිදු සේවය කළ රටේ සිට දුරකතන ඇමතුමක් දී ඔහු මිය ගොස් ඇති බව දැන්වූ බව ද ඥාතීහු කියති.

ඉන්පසුව තමන් වෙනත් අයකුට කතා කළ මුත් ඔහු පවසා සිටියේ කවිදුගේ දේහය බැලීමට ඉඩ නොදෙන බවත් පසුව තමන් කවිදු වැඩකළ අවන්හලෙන් දුරකථන පණිවිඩයකින් දැනුම් දුන්නේ ඔහුගේ දේහයේ අවසන් කටයුතු එහිදී සිදු කිරීමට ඥාතීන්ගේ අවසරය ලබා දෙන ලෙස බවත් ඔවුහු කීහ.



මියගිය කවිදුගේ මව වන මංජුලා ජයමාලි මහත්මිය පවසා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ලබා දෙන ලෙසත් සිරුර ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙසත්ය.

මියගිය කවිදුගේ මව වන මංජුලා ජයමාලි මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ කීවාය.

මගේ පුතා රට ගිහින් දැනට අවුරුද්දයි මාස හයක් වෙනවා. එයා චෙෆ් කෙනෙක් හැටියට තමා වැඩ කළේ. දවස ගානේ එයා කතා කරනවා මැසේජ් දානවා. පහුගිය හයවැනිදා ඉඳලා එයා කතා කළේ නැහැ. හය වැනිදා රෑ 8.43ට මැසේජ් එකක් දැම්මා අම්මේ මම ආවා කියලා. ඊට පස්සේ එයාගෙන් කිසිම තොරතුරක් නැහැ. මට මගේ දරුවා ගෙනල්ලා දෙන්න. මගේ පුතා ගෙන්නල දෙන්න යැයි ඇය හැඩූ කඳුළින් පැවැසුවාය.

  කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත